ඉන්දියාව අපරාජිතව දෙවැනි වටයට පාකිස්තානයට කඩුලු 8ක පරාජයක්

  👤  519 readers have read this article !
By mawbima 2018-09-20

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 'ඒ' කාණ්ඩයේ තරගයක් ලෙසින් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඊයේ (19දා) පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව මෙම තරගාවලියේ මූලික වටයේදී ඉන්දියාව සහභාගි වූ තරග 2ම ජයගෙන අපරාජිතවත් එක් තරගයක් පමණක් ජයගත් පාකිස්තානයත් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4ට පිවිසීමට සමත් විය.

2006 වර්ෂයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉන්දියාව සහ පාකිස්තානය එක්දින ක්‍රිකට් තරගයකට සහභාගිවූ පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වර්ෂයේ පැවැති අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් අනතුරුව මෙම කණ්ඩායම් දෙක හමුවූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 43යි එක් පන්දුවකදී සියල්ලන් දැවී ලකුණු 162ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 29කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 164ක් ලබා එම තරගය ජය ලැබීය.

පාකිස්තානු ඉනිම ආරම්භ කරමින් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු ඉමාම් උල් හක්, පාකිස්තානයේ පළමු කඩුල්ල ලෙසින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 2ක්ව තිබියදී බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. පාකිස්තානු ලකුණු පුවරුව ලකුණු 3ක් සටහන් කරන විට කිසිදු ලකුණක් ලබා නොසිටි ෆකාර් සමාන් බුවනෙෂ්වර්ගේ පන්දුවකට යුෂ්වේන්ද්‍ර චහාල් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර ෂොහෙබ් මලික් සමඟින් එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 82ක සම්බන්ධතාවක් ගොඩනැඟූ බාබර් අසාම් ලකුණු 47ක් ලබා සිටියදී කුල්දීප් යාදේව්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

මේ අතර පාකිස්තානු ඉනිමේ 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටියදී හාර්දික් පාණ්ඩ්‍යා කොන්දේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් බිම ඇදවැටුණු අතර ගිලන් ඇඳක ආධාරයෙන් ඔහුව පිටියෙන් ඉවතට රැගෙන යෑම සිදුවිය.

කෙසේ වෙතත් පාකිස්තානු ඉනිමේ 26වැනි පන්දුවාරයේදී ෂොහෙබ් මලික් ලකුණු 43ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට අම්බති රයුදු සමත් වූ අතර ලෝන්ග් ඕන්හි පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක මනිෂ් පාණ්ඩේ රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් ලකුණු 6ක් ලබා සිටි පාකිස්තාන නායක සර්ෆ්රාස් අහමඩ් දැවී ගියේය. එම දැවී යෑමෙන් අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ෂදාබ් ඛාන් ලකුණු 8ක් ලබා සිටියදී කේඩර් ජදාව්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසු වීමෙන් දැවී ගියේය. මොහොමඩ් අමීර් සහ ෆහීම් අෂ්රොෆ් පාකිස්තාන ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සම්බන්ධතාවක් ගොඩනැඟූ අතර 8 වැනි කඩුල්ල ලෙස ෆහීම් අෂරොෆ් ලකුණු 21කට දැවී යෑමත් සමඟ එම සමබන්ධතාව බිඳවැටිණි. හසන් අලී නව වැනි කඩුල්ල ලෙසින් එක් ලකුණකට පිටියෙන් ඉවත් විය. උස්මාන් ඛාන් ලකුණු නොලබා දැවී ගියේය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් සහ කේඩර් ජදාව් කඩුලු 3 බැගින් ද ජස්ප්‍රිත් බුම්රා කඩුලු 2ක්ද බිඳහෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 86ක් වශයෙන් සටහන් වෙද්දී සිය එක්දින දිවියේ 35 වැනි අර්ධශතකය වාර්තා කළ නායක රෝහිත් ෂර්මා ලකුණු 52කට ශදාබ් ඛාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ලකුණු 46ක් ලබා සිටියදී ෆහීම් අෂ්රොෆ්ගේ පන්දුවකට බාබර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් ෂිකර් ධවාන් දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 104ක් වශයෙන් සටහන් විය. ඉන් අනතුරුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි දිනේෂ් කාර්තික් සහ අම්බති රයුදු නොදැවී ලකුණු 31 බැගින් ලබා ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, ඉන්දියානු කණ්ඩායම විසින් වැඩිම පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී පාකිස්තානයට එරෙහිව වාර්තා කළ ජයග්‍රහණය වශයෙන් මෙය වාර්තා අතරට එක්විය.

ඡායාරූපය -තාරක බස්නායක ඩුබායි නුවර සිට...

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon