විකෘති කළ දහම් දෙසූ බව පිළිගත් හිමිවරු වරද පිළිගෙන මහ නාහිමි වැඳ සමාව අයැදිති

  👤  604 readers have read this article !
By mawbima 2018-09-20

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

බුදු දහම විකෘති කර විකෘති කළ බුදු බණ මහජනතාවට දේශනා කරමින් එම හඬපට අන්තර්ජාලයට මුදාහැර ජනතාව නොමඟ යැවූ හිමිවරුන් පිරිසක් පෙරේදා (18දා) මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව ඉදිරිපිටට කැඳවා ඔවුන්ට තරයේ අවවාද කිරීමට මහා නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව පියවර ගත්හ.

මල්වතු පාර්ශ්වයේ මහ නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය දිඹුල්කුඹුරේ විමල ධම්ම නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව රැස්ව බුදු දහම විකෘති කර දේශනා කරන එම සංඝයා වහන්සේ පිරිස මල්වතු විහාරයට කැඳවා තිබිණි.

මෙම සංඝයා වහන්සේ බුදු දහම විකෘති කර කළ දේශනා පිළිබඳ ඒ ඒ ප්‍රදේශවල මහ සංඝරත්නය සහ නොයෙකුත් විද්වතුන් මෙන්ම මහජනතාවද විශාල ලෙස මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන්ට ලිඛිතව පැමිණිලි කර තිබිණි. ඒ අනුව දිඹුල්කුඹුරේ උදිත රතන, හඳපාන්ගොඩ නිවාසාප, බත්තරමුල්ලේ අමා දස්සන, වස්සක ධම්ම යන හිමිවරු මල්වතු විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව හමුවට පෙරේදා (18දා) පැමිණ සිටියහ. එහිදී උන්වහන්සේ දේශනා කළ විකෘති කරන ලද බුදුහදම පිළිබඳ කාරක සංඝ සභාවේ හිමිවරුන් එකිනෙක පෙන්වා දීමෙන් අනතුරුව උන්වහන්සේ බුදු දහම විකෘති කර දේශනා කර ඇති බව පිළිගත්හ. මින් ඉදිරියට එවන් විකෘති කළ ධර්ම දේශනා සිදු නොකරන බවට උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවට පොරොන්දු වූහ.

මෙම වැරැදි නිවැරැදි කරගෙන යළි නිවැරැදි ධර්මය අවබෝධ කරගන්නා තෙක් උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානවලින් පිටතට ගොස් ධර්ම දේශනා නොපවත්වන ලෙසත්, විහාරස්ථානයට පැමිණෙන දායකයන්ට ධර්මානුකූලව සහ ත්‍රිපිටකයට අනුකූලව ධර්ම දේශනා කළ යුතු බවත් මල්වතු මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව උන්වහන්සේලාට නියෝග කළේය. උන්වහන්සේලා වැඩ සිටින විහාරස්ථානයට පිටතින් ලැබෙන කිසිදු ධර්ම දේශනාවකට සහභාගි නොවන ලෙසත් කාරක සංඝ සභාවේ හිමිවරුන් උන්වහන්සේලාට තරයේ අවවාද කළේය. මේ වනවිට අන්තර්ජාලයට සහ නොයෙක් වෙබ් අඩවිවලට මුදාහැර ඇති විකෘති කරන ලද සියලු බණ දේශනා අවලංගු කර ඉවත් කරගන්නා ලෙසත් මහ නාහිමියන් උන්වහන්සේලාට නියෝග කළේය. මින් පසුව කිසිදු භික්ෂුන් වහන්සේ නමක් ධර්මය අධර්මයට හරවා ත්‍රිපිටකයට පටහැණිව දේශනා කළ හොත් ශාසනයෙන් උන්වහන්සේ නෙරපා හැරීමට කටයුතු කරන බව මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව උන්වහන්සේලාට දැනුම් දුන්හ.

ඉන්පසු දිඹුල්කුඹුරේ උදිත රතන, හඳපාන්ගොඩ නිවාසාප, බත්තරමුල්ලේ අමා දස්සන, වස්සක ධම්ම යන
සංඝයා වහන්සේ සියලු විකෘති කරන ලද බණ දේශනා අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීමට පොරොන්දු වූහ. මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභවේ හිමිවරුන්ට වැඳ නමස්කාර කර උන්වහන්සේලා කළ වරද පිළිගෙන මහා සංඝරත්නයෙන් සමාව අයැද සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon