පිළියන්දල මාම්පේ නිවෙසක් තුළදී පෙම්වතා ගිනි තැබූ පෙම්වතිය දින ‍ෙදාළහකට පසු මියයයි

  👤  500 readers have read this article !
By mawbima 2018-09-20

කොළඹ - එම්.සී. පෙරේරා

පිළියන්දල මාම්පේ නිවසක් තුළදී තම විසි හැවිරිදි පෙම්වතා විසින් ගිනි තැබීමෙන් බරපතළ තත්ත්වයේ සිටි පෙම්වතිය දින ‍ෙදාළහකට පසු ඊයේ (19දා) කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මියගිය බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල මඩපාත - බෙරවාවල පදිංචිව සිටි සදිනි ගෞරිකා ජයසේකර නමැති තරුණිය මෙසේ මිය ගොස් ඇත.

සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මොවුන් දෙදෙනා හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව සිටි බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

පෙම්වතියට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා වන සසිදු මධුසංක ප්‍රනාන්දු යන අය මෙම මස 27 දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට කැස්බෑව අධිකරණයේ මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබිණි.
පසුගිය 7 වැනිදා සැකකාර පෙම්වතා මියගිය තරුණියගේ නිවසට ගොස් පාසල් යෑමට බව පවසා ඇයව යතුරු පැදියක නංවාගෙන මාම්පේ නිවසට රැගෙන ඒමෙන් පසු මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

තරුණයා මියගිය තරුණියගේ නිවසට එදින සවස 3ට පමණ දුරකථනයෙන් කතාකර ඔයාගේ දුව ගිනි තියාගත්තා යැයි පවසා තිබූ බවත් ඒ අනුව තරුණියගේ මවුපියන් එකී නිවසට ගොස් තිබේ. එහිදී නිවසේ කාමරයක තිබූ ඇඳක මෙට්ටයද සමඟ ගිනි ඇවිළි තිබී ඇත. තරුණියගේ මවුපියන් පිළියන්දල දිසා රෝහලට ගොස් සොයා බැලීමේදී දියණිය අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයුරු දැක පසුව ඇයව කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඊයේ (19දා) වනතුරු ප්‍රතිකාර ලබමින් සිටියාය. පිළියන්දල පොලිසියේ දැනුම් දීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා කළුබෝවිල රෝහල වෙත ගොස් තරුණියගේ ප්‍රකාශ ලබාගැනීමට උත්සහා කළද ඇයට කිසිවක් ප්‍රකාශ කිරීමට තරම් නිරෝගි ශක්තියක් නොවුණත් මහෙස්ත්‍රාත්වරයා අසන ලද ප්‍රශ්නවලට ඇය හිස වනමින් ඔව් - නැහැ යනුවෙන් හැගෙන පරිදි පිළිතුරු දී තිබිණි.

මහෙස්ත්‍රාත්වරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තරුණිය අමතා ඔබට ගිනි තැබුවේ කවුරුන්ද යන්න වග ඔව් හෝ නැහැ යනුවෙන් හැඟෙන පරිදි හිස සොලවා පිළිතුරු දෙන ලෙස එම තරුණියට පවසා පිරිමි පුද්ගලයන්ගේ නම් කිහිපයක් තරුණියට ඇසෙන පරිදි උච්චාරණය කළද ඇය නැහැ යනුවෙන් "සසිදු" යන්න පැවසීමත් සමඟ හිස සොලවා "ඔව්" යැයි පවසා තිබේ.

තරුණිය ගින්නෙන් පිලිස්සෙන අවස්ථාවේ ඇයව බේරා ගැනීමට සැකකාර තරුණයා කිසිදු උත්සාහයක් ගෙන නැතැයි ද පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී යැයි ද සැකකරුගේ පියා පිලිස්සුම් තුවාල ලබා තිබුණ තරුණියව බේරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඔවුන් ලබාදුන් ප්‍රකාශවලින් හෙළිවී යැයි පොලිසිය කියයි.

තම පෙම්වතියගේ දිවි බේරා ගැනීමට හෝ ඇයව රෝහල්ගත කිරීමට සැකකාර පෙම්වතා කිසිදු උනන්දුවක් නොදක්වා ඇති බවත් අවම වශයෙන් ඇයව බැලීමට පිළියන්දල රෝහලට හෝ ඔහු නොගිය බවට වැඩි දුරටත් අනාවරණය වී තිබිණි. පෙම්වතිය අසාධ්‍යව රෝහල් ගතව සිටින අවස්ථාවේදී ඒ පිළිබඳව සොයා බලා නැති සැකකරු කොණ්ඩය කපා ගැනීම සඳහා බාබර් සාප්පුවක් වෙත ගොස් තිබූ බවද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

මියගිය තරුණියට සැකකාර තරුණයා විවාහ වෙමු යැයි නිරතුරුවම පවසා ඇති අතර වසර විසිතුනක් සපිරෙනකම් විවාහ වීමට නොහැකි බවට එම අවස්ථාවල දියණිය පවසා තිබූ බවද තම දියණිය රැකියාවට හෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු වනවාට ඔහු විරුද්ධව සිටි බවද තරුණියගේ මව පොලිසියට කළ ප්‍රකාශවල සඳහන් වන බව පොලිසිය කියයි. පෙම්වතුන් දෙදෙනා අතර නිවසේ ඇති වූ බහින් බස් වීමක් දුර දිග යෑම මෙම ගිනි තැබීමට හේතු වන්නට ඇති බව පොලිසිය කියයි.

මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (20දා) කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන් විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන්, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඉදුනිල්, පොලිස් කොස්තාපල්වරුන් වන චන්දන කුමාර (56406), විජේසිංහ (34034), අනුරංග (90753) මහත්වරුද පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon