හඬපට ඇතුළත් ජංගම දුරකථනයේ දත්ත පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න - කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න

  👤  511 readers have read this article !
By mawbima 2018-09-20

අමිල අබේරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ප්‍රකට පාතාල නායක මාකඳුරේ මධුෂ් ලවා ඝාතනය කරවීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණය කළා යැයි කියන සිද්ධියට අදාළව හඬපට ඇතුළත් ජංගම දුරකථනයේ ඇති දත්ත විශ්ලේෂණය
කර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19දා) රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කළාය.

ඊට අමතරව දුරකථනයේ අන්තර්ගත හඬපටවල ඇති හඬවල් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ සිද්ධියේ පැමිණිලිකරු වන නාමල් කුමාර යන අයගේ කටහඬවල් සමඟ සැසඳෙන්නේද යන්න තීරණය කිරීම සඳහා එම දෙදෙනා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය යුතු දිනයක් සහ වේලාවක් වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂකවරයා වෙත තවත්
නියෝගයක් ද නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ නිලධාරීන් පිරිසක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය එම නියෝග නිකුත් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළව පැමිණිලිකරු වන නාමල් කුමාර යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති පැමිණිලිකරුගේ දුරකථනයේ පටිගත වී ඇති හඬ පටවල ඇති හඬවල් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ පැමිණිලිකරු වන නාමල් කුමාර යන අයගේ කටහඬවල් සමඟ සැසඳේද යන්න පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා දෙදෙනාටම කටහඬ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

සිද්ධියට අදාළ පැමිණිලිකරුගේ දුරකථනතය අධිකරණය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඊයේ (19දා) දින ඉදිරිපත් කරනු ලැබිණි.

සිද්ධියේ ඇති බරපතළතාවය මත පැමිණිලිකරු වන නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා
විදේශ ගතවිය හැකි බවද එසේ වුවහොත් එය, ප්‍රබල බාධකයක් වන බැවින් එම දෙදෙනාට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන් දෙදෙනාට එරෙහිව විදේශ ගමන් තහනම පැනවීමට හේතු නිසි වගන්ති සහ පනත් යටතේ විධිමත්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දන්වා සිටි අතර එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ නියෝගය නිකුත් කරන බව මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon