මිලියන 19ක අගරු චෙක්පත් ලබාදීමේ සිද්ධිය 'ජනයුගය' පුවත්පත කළමනාකරණය කළ අධ්‍යක්ෂවරුන් තිදෙනා ඇප මත මුදාහරී

  👤  509 readers have read this article !
By mawbima 2018-09-20

අමිල අබේරත්න

නීතිමය නොවන බැඳුම්කර ගනුදෙනු සිදුකර රජයට මූල්‍ය පාඩුවක් සිදු කළා යැයි චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් යන අය විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්පත කළමනාකරණය කළ "ඉන්ටර්නැෂනල් මීඩියා ප්‍රයිවට්" ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19දා) නියෝග කළාය.

ඔවුන් එලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ "ජනයුගය" පුවත්පත සඳහා මුද්‍රණ කඩදාසි ගෙන්වීමට එම අධ්‍යක්ෂවරුන් විසින් ඒ. ජී. ඉන්ටර්නැෂනල් නමැති සමාගමකට භාරදී එම සමාගමට මිලියන 19කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් ලබාදී වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශය විසින් එම
අධ්‍යක්ෂවරු තිදෙනාව අත්අඩංගුවට ගෙන ඊයේ (19දා) අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර අදාළ සිද්ධිය වාණිජ ගනුදෙනුවක් වීමත් එම හේතුව මත අදාළ මුදල විශාල වුවද අපරාධ වගකීම අවම බැවින් ඔවුන්ට ඇප නියම කරන බව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

අගරු චෙක්පත් නිකුත් කර ඇති එක්කෝටි අනූදෙලක්ෂ හැටපන්දහස් විසිහතරක මුදලින් පළමුව මිලියන 3ක මුදලක් ගෙවා ඉතිරිය මසකට ලක්ෂ 8ක් බැගින් ගෙවීමට
අධ්‍යක්ෂවරුන් එකඟ වූ අතර අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සමථයකට එළඹීමටද කැමැත්ත පළ කරනු ලැබිණි.

ඒ.ජී.ඉන්ටර්නැෂනල් නමැති අදාළ සමාගමේ පැමිණිලිකාරිය වන ශර්මිලා ප්‍රසාදිනී නමැති අධ්‍යක්ෂවරිය ඊයේ (19දා) අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ අනුව සමථය පිළිබඳව විමසීම සඳහා නඩුව ලබන මස 3 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඇප මත මුදාහරිනු ලැබුවේ ජනයුගය පුවත්පත කළමනාකරණය කළ "ඉන්ටර් නැෂනල් මීඩියා" ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ
අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ ගැමුණු චමින්ද පැලවත්ත, ශිරාන් සංජීව ප්‍රනාන්දු, සනත් චමින්ද බණ්ඩාර යන තිදෙනකුටයි.

විත්තිය පාර්ශ්වය වන ඔවුන් වෙනුවෙන් නීතිඥ දීමනී බැද්දෙවෙල මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon