අත්අඩංගුවට පත්වීමෙන් පසු අපි එකිනෙකා ගැන කතා කරමින් වින්දනයක් ලබාගත්තා - හිටපු එල්ටීටීඊ සාමාජික මොහමඩ් අලිහසන් හන්සාර් සාක්කි දෙමින් කියයි

  👤  466 readers have read this article !
By mawbima 2018-09-20

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් ඇතුළු සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී අපි එකිනෙකා ඒ ගැන කතා කරමින් වින්දනයක් ලබා ගත්තා යැයි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූ මොහොමඩ් අලිහසන් හන්සාර් නමැති සාක්ෂිකරු ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතන නඩු විභාගයේ සාක්ෂි දෙමින් පැවසීය.

එම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගාමිණි අල්විස් මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු එසේ පැවසීය.

ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේදී ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේදී ඉකුත් 17 වෙනිදා පස්වරු 1.30ට නඩු විභාගය ආරම්භ විය. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

අසන ලද ප්‍රශ්න සහ පිළිතුරු තෝල්ක මුදලි විසින් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරනු ලැබීය. 2008 වර්ෂයේ අප්‍රේල් මස 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සහ තවත් පුද්ගලයන් 84 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයකු යැයි කියන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස්, එවකට ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේ සහ එල්.ටී.ටී.ඊ. සාමාජික තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන් තිදෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ. පළමු විත්තිකරු වන සෙල්වරාජා තිරුබාකරන් හෙවත් මොරිස් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුරංග බණ්ඩාර මහතා, සාක්ෂිකරු වූ මොහොමඩ් අලිහසන් හන්සාර් යන අයගෙන් හරස් ප්‍රශ්න අසනු ලැබීය.

නීතිඥ සුරංග බණ්ඩාර - ත්‍රස්ත විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගැනීමට පෙර කළ රැකියාව මොකක්ද?

සාක්ෂිකරු - ඉලෙක්ට්‍රොනික් බඩු අලෙවි කරන කඩයක් පවත්වාගෙන යෑම.

නීතිඥ - මුදල් සොයා ගත්තේ කොහෙන්ද?

සාක්ෂිකරු - ඥාතීන් මූලික ධනය ලබා දුන්නා.

නීතිඥ - ව්‍යාපාර පටන්ගත් කාලයේ වාහන තිබුණාද?

සාක්ෂිකරු - ඔව්, වාහනයක් තිබුණා. ලීසිං කරලා තව වාහනයක් ගත්තා.

නීතිඥ - මැස්ඩා වර්ගයේ වෑන් රථයක් තිබුණා?

සාක්ෂිකරු - ඔව්, ඒ වෑන් එක එල්.ටී.ටී.ඊ. එකට දීලා තිබුණා. එකේ ලීසිං තිබුණා. ඒ වාහනය එල්.ටී.ටී.ඊ. එකෙන් නැවත ගන්න බැරි වුණා.

නීතිඥ - මාතර අකුරැස්ස ගොඩපිටියේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා විශාල පිරිසක් මියගියා. ඔබ ඒ වන විට එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්. එම බෝම්බය පුපුරවන්න ඔබ ඔබගේ වාහනයෙන් තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු රැගෙන ගියා. එම බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2009 වර්ෂයේදී සාක්ෂිකරුව ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්පසු සහකාර පොලිස් අධිකාරිවරයකුට පාපෝච්චාරණයක් කළාද?

සාක්ෂිකරු - මා ස්වකැමැත්තෙන් පාපෝච්චාරණයක් කළා. මා ඉල්ලීමක් කර තිබුණා. පාපෝච්චාරණයක් කරන්න.

නීතිඥ - පාපෝච්චාරණයට කිව්වේ ඇත්ත කරුණුද?

සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - සහකාර පොලිස් අධිකාරිවරයාට පාපෝච්චාරණය ලබා දුන්නාට පසු මාතර මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදීත් පාපෝච්චාරණය කළාද?

සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - අකුරැස්ස බෝම්බය පුපුරුවන්න ත්‍රස්තවාදී කටයුත්ත කරපු ත්‍රස්තවාදී අයව වාහනයෙන් රැගෙන ගිය බව කිව්වාද?

සාක්ෂිකරු - ඔව්, මගෙ නිවෙසේ නවාතැන් පහසුකම් දුන්නා කියලත් කිව්වා.

නීතිඥ - අකුරැස්ස, ගොඩපිටියේ බෝම්බය පුපුරවන්න තමා රැගෙන ගිය අය ගොඩපිටියට ගිහින් කාහට හරි කෝල් කළාද?

සාක්ෂිකරු - ඔව්, වෙන වෙනම ෆෝන් වලින් කතා කළේ. එක් අයෙක් පළමු සැකකරු.
නීතිඥ - පළමු විත්තිකරුව කොහෙදි හරි දැකලා තියෙනවාද?

සාක්ෂිකරු - යුද්දේ අවසන් වීමට ටික කාලයකට කලින් වැල්ලවත්තේදී මම පළමු විත්තිකරුව දැක්කා. මගෙත් එක්ක හිටපු කෙනා වැල්ලවත්තේ බොම්බේ ස්විට් නමැති කඩෙන් එළියට ආවා පළමු විත්තිකරු සමඟ පසුව මට යාළුවා කිව්වා කඩෙන් එළියට ආවේ මොරිස් සමඟ කියා. ගොඩපිටිය බෝම්බය පිපිරීම සහ ජෙයරාජ් ඇමතිතුමාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණාට පසු අපි කට්ටිය කතා කරනවා. අත්අඩංගුවේ හිටපු සැකකරුවන් එයාලා කරපුවා, අපි කරපුවා කතා කරනවා.

නීතිඥ - පළමු වන සාක්ෂිකරු සම්බන්ධයෙන් තමන් දෙන්නේ අසත්‍ය සාක්ෂියක් කියා මා යෝජනා කරනවා.

සාක්ෂිකරු - මා එය ප්‍රතික්ෂේප කරනවා.

දෙවැනි විත්තිකාර ලක්ෂ්මන් කුරේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගාමිණී අල්විස් මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීය.

නීතිඥ - තමා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට සහ මාතර මහෙස්ත්‍රාත්වරියට ලබාදුන් ප්‍රකාශවල සහ විවිධ තැන්වල තියෙන්නේ විවිධ අස්සන් යටි අරමුණුවලින් කරපු දෙයක්ද?

සාක්ෂිකරු - ඒ මගේ කෙටි අස්සන සහ දිග අස්සන, මා මොහොමඩ් අලි ලෙසත් මොහොමඩ් අලි හසන් ලෙසත් අස්සන් කරනවා.

නීතිඥ - ගොඩපිටිය පල්ලියක් අසල බෝම්බයක් පිපුරුණා. මුස්ලිම් බැතිමතුන් මියගියා. එක් ඇමැතිවරයෙක් සදාකාලික ඇ‍ෙ¼ද්. තමාට ඒ සම්බන්ධයෙන් නඩු පැවරෙනවාද?

සාක්ෂිකරු - ඒ ගැන මා දන්නේ නැහැ.

නීතිඥ - නඩුවලට සම්බන්ධ නැති අයව සම්බන්ධ කර තමා එළියට ආවා. මව්ජුර් කියන්නේ කවුද?

සාක්ෂිකරු - මගේ මවගේ අක්කාගේ පුතා.

නීතිඥ - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටත් පොලිස් කොමිසමටත් සම්බන්ධ අයෙක් මව්ජුර් කියන්නේ. තමාව එළියට ගත්ත දෙවැනි විත්තිකරු මේ නඩුවට පැටලුවේ මව්ජුර් තමයි. ලක්ෂ්මන් කුරේ නමැති මේ දෙවැනි විත්තිකරුව නඩුවට පැටලීම ගනුදෙනුවක් බවට මා යෝජනා කරනවා.

නීතිඥ - සහකාර පොලිස් අධිකාරිවරයාට ප්‍රකාශයක් දුන් අවස්ථාවේ පිළිගත්තාද හිටපු අමාත්‍ය ජෝන් සෙනවිරත්න මරන්න ඔත්තු දුන්නා කියා.

සාක්ෂිකරු - ඔව්.

නීතිඥ - ඒකට දඬුවමක් ලැබුණාද?

සාක්ෂිකරු - නැහැ.

නීතිඥ - අමාත්‍ය නිමල් සිරිපාල මහතා මරන්න තොරතුරු සොයන්න ඉදිරිපත් වුණාද?

සාක්ෂිකරු - තොරතුරක් සොයා ගෙන හිටියා.

නීතිඥ - ඒ සම්බන්ධව දඬුවමක් ලැබුණාද?

සාක්ෂිකරු - නැහැ.

නීතිඥ - තමා බේරෙන්නත් දෙවැනි විත්තිකරු තවමත් හිරේ ඉන්නත් තමාගේ මව්ජුර් අයියාගේ හපන් කමක් නිසයි කියා කියනවා.

සාක්ෂිකරු - චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

පස්වරු 04ට නඩු විභාගය අවසන් කළ අතර නැවත නඩු විභාගය 21 වැනිදා පස්වරු 1.30ට කල් තැබිණි.

සාක්ෂිකාර මොහොමඩ් අලි හසන් හන්සාර්ට නැවත ලබන 21 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කෙරිණි. හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ බිරිය වන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද නඩු විභාගය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon