කොස්ගම මාරක රිය අනතුරෙන් සරසවි සිසුවා ජීවිතක්ෂයට

  👤  421 readers have read this article !
By mawbima 2018-09-20

චාමර අමරසූරිය, කොළඹ - එම්.සී. පෙරේරා

කොස්ගම - අවිස්සාවේල්ල මාර්ගයේ හතළිස් නව වැනි කිලෝමීටර් කණුව අසලදී පෞද්ගලික බස් රථයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවකු යටකොට සිදුකළ මාරක රිය අනතුරකින් එම සිසුවා ඊයේ (19දා) ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරෙහි ඉගෙනුම ලැබූ පල්ලෙබැද්ද, අක්කර හැට ප්‍රදේශයේ පදිංචිව සිටි පියල් රත්නකුමාර (26) සිසුවාය.

බස් රථය හංවැල්ල සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වී ඇති අතර එම සිසුවාද එම දිශාවටම යතුරුපැදියෙන් යමින් සිට ඇත. විශ්වවිද්‍යාලය බලා යමින් සිටි ඔහු මෙම අනතුරට භාජන වී ඇත. බරපතළ තුවාල ලැබූ එම සිසුවා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පවසයි.

එම සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (19දා) දින එම රෝහලේදී සිදු කෙරිණි.

පපුවට සහ හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බවද අනාවරණය වී ඇත. බස් රථයෙහි රියැදුරු වූ කළුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ඩග්ලස් පද්මසිරි නමැත්තා කොස්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (20දා) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොස්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෝමරත්න විජයමුනි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon