පොලිසියට භාර වූ සැකකාර විහාරාධිපති හිමිනම දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට නියෝග

  👤  2730 readers have read this article !
By mawbima 2018-09-21

අනුරාධපුර - ආනන්ද කරුණාදාස, මහේෂ් විජේසුරි

බාලවයස්කාර සාමණේර හිමිනමක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිසිය මඟහැර සැඟව සිට පසුව නීතිඥයන් මාර්ගයෙන් පොලිසියට භාර වූ අනුරාධපුර පූජා නගරයේ ප්‍රධාන පෙළේ භාවනා මධ්‍යස්ථානයක විහාරාධිපතීන් වහන්සේ නමක දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඒ.එම්. ජානක සමරසිංහ මහතා පෙරේදා (19දා) නියෝග කළේය.

ඒ අනුව සැකකාර හිමිනමට විදේශ ගතවීම තහනම් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තමන් සතු විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසටද සැකකරුට නියෝග කළේය. තමා ලබාදෙන මෙම විදේශ ගමන් තහනම් නියෝගය නොපමාව ගුවන්තොටුපළ ආගමන - විගමන පාලකවරයාට යවන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අධිකරණයේ රෙජිස්ට්‍රාවරයාට නියෝග කළේය. ඊට අමතරව සැකකරුට මුදලින් රුපියල් දස දහසක සහ රුපියල් ලක්‍ෂ පහක් පමණ වටිනා ශරීර ඇප දෙකක් නියම කෙරිණි. සාක්‍ෂිකරුවන්ට බලපෑම් කළ බවට අධිකරණයට වාර්තා වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර හිමිනමට තරයේ අවවාද කළේය.

මෙසේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරියේ අනුරාධපුර පූජා නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ බෞද්ධ මධ්‍යස්ථානයක සහ ඇලයාපත්තුව නෙල්ලිකුලම ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක අධිපතීත්වය දරන 67 හැවිරිදි චීවරධාරියෙකි.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එලෙස තමා අත්අඩංගුවට ගැනීම වළකාලමින් පොලිසියට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් මෙම සැකකාර විහාරාධිපති හිමිනම ඉකුත් 17දා නීතිඥ රජිත ජයවර්ධන මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කළ අපේක්‍ෂිත ඇප අයැදුම්පතක් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඒ.එම්. ජානක සමරසිංහ මහතා තරයේ ප්‍රතික්‍ෂේප කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න මහතා සඳහන් කළේ මෙම සැකකාර විහාරාධිපති හිමිනම භාරයේ සිටි 11 හැවිරිදි සාමණේර හිමිනමකට සැකකාර හිමියන් පසුගිය 3දා ලිංගික අතවර සිදු කර ඇති බවට සාමණේර හිමිනම උන්වහන්සේගේ මවද සමඟ පැමිණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇති බවයි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විමර්ශන අරඹා සැකකාර විහාරාධිපතීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය ගියද උන්වහන්සේ පොලිසිය මඟහැර ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි බවද පොලිස් පරීක්‍ෂක යසරත්න මහතා අධිකරණයට දැන්වීය. සැකකරු මේ මස 21 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙසද උප පොලිස් පරීක්‍ෂක යසරත්න මහතා අධිකරණයෙන් අයැද සිටියේය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තිය ප්‍රකාරව ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකාර චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පැමිණිලිකාර සාමණේර හිමියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රියදර්ශනී කාරියවසම් ජයලත්, අබේසිංහ සුසිල් සිරිවර්ධන, ස්වර්ණමාලි අනුරාධනායක, සාධනා තිමති සහ ධනංජනී ජයවර්ධන යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටි අතර සැකකාර චීවරධාරියා වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥයන් වන රංජිත් රාජකරුණා, චන්දන වීරකෝන් සහ ආරියරත්න වික්‍රමආරච්චි යන මහත්වරුන් සමඟ නීතිඥවරුන් වන මධාරා විජේසිංහ, ප්‍රසාද් ධර්මසේන සහ රජිත ජයවර්ධන යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති යමුනා මහත්මියගේ මෙහෙයවීම මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එච්.එම්. යසරත්න සහ සැරයන් ලලිත් නන්දසේන (31486) යන මහත්වරුන් අධිකරණයට කරුණු කීවේය. සැකකාර චීවරධාරියා පොලිසියට භාර වීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා හමුවටද ඉදිරිපත් කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon