තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව තොරතුරු සතියක් අද සිට 28දා තෙක්

  👤  2429 readers have read this article !
By mawbima 2018-09-21

දෙනගම ධම්මික රණවීර

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද (21දා) සිට 28 දක්වා රජය විසින් තොරතුරු සතියක් ප්‍රකාශ කොට ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවැසුවාය.

සැප්තැම්බර් 28 දිනට යෙදී ඇති ජාත්‍යන්තර තොරතුරු දැන ගැනීමේ දිනය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහන් රැසක් මේ සතිය පුරා ක්‍රියාවට නංවන බවද ඊයේ (20දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇය සඳහන් කළාය.

තොරතුරු සතියට සමගාමීව සැප්තැම්බර් 21 වැනිදා ජාතික රෝහල අසලදී පෙ.ව. 11ටද, කොටුව දුම්රිය ස්ථානය අසලදී ප.ව. 4ටද තොරතුරු අයිතිය පිළිබඳ වීදි නාට්‍යය පැවැත්වීමට කටයුතු කර ඇත. එමෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය මැයෙන් කෙටි චිත්‍රපටයක්ද අද ප.ව. 4.30 සිට තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු කර තිබේ.
සැප්තැම්බර් 22 වැනිදා ජනමාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නැංවෙයි. 23දා මීගමුව සතිපොළ අසලදී පෙ.ව. 10ටද ප.ව. 2ට ගම්පහ නගරයේදී වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.

සැප්තැම්බර් 24 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේදී එම ප්‍රදේශයේ පුරවැසියන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබේ. සැප්තැම්බර් 25 වැනිදා දීප ව්‍යාප්ත පාසල් විවාද හා රචනා තරගාවලිය ජනමාධ්‍ය ශ්‍රවණාගාරයේදී සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

සැප්තැම්බර් 26 වැනිදා විදේශ ආරාධිතයන් තොරතුරු කොමිෂන් සභාව නිරීක්ෂණය කිරීම, සිවිල් සංවිධාන හා පුරවැසියන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එදින සවස කතිකාවතක් පැවැත්වීමටද නියමිතය. එමෙන්ම වෙබ් මාධ්‍යවේදීන්ගේ හමුවක්ද එදින සවස එහිදී පැවැත්වෙයි.

සැප්තැම්බර් 27 වැනිදා තොරතුරු පනත සම්බන්ධයෙන් පර්යේෂණ ලිපි එළිදැක්වීම පෙ.ව. 9 සිට ජානකී හෝටලයේ දී සිදුකෙරේ. 28 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පැවැත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon