පුත්තලම් බූරුවෝ හා කල්පිටියේ බූරුවෝ මැතිසබේ

  👤  2622 readers have read this article !
By mawbima 2018-09-21

මිල සූත්‍ර ගැන විවිධ කතා මේ දිනවල අසන්නට ලැබේ. නව මිල සූත්‍රයක් ඊයේ (20දා) දින පාර්ලිමේන්තුවේදී හඳුන්වා දෙන ලද්දේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසිනි.

ඉන්ධන සහනාධාරයක් වහාම ධීවරයන්ට ලබාදෙන ලෙස ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් අනුර කුමාර දිසානායක ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
මෙම ඉල්ලීම සිදුකරන අතරතුර අනුර කුමාර මිල සූත්‍ර ගැනද කතා කිරීමට අමතක නොකළේය.

තෙල් මිල සූත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අනුර කුමාර ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළ අතර එය මැතිසබයට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරු කිහිපදෙනෙක්ම ප්‍රකාශ කළහ.
'දැන් මේ එක එක මිල සූත්‍ර තියෙනවා. හරි මිල සූත්‍රය මොකක්ද කියලා හැමෝටම ප්‍රශ්නයක්. ඕඊඑ කියලත් මිල සූත්‍රයක් තියෙනවා කියලා ප්‍රචාරයක් යනවා. ඕ කියන්නේ බැඳුම්කරය. ඊ කියන්නෙ ඊචය එ කියන්නේ වික්‍රමසිංහ කියලා තමයි කියන්නේ' යනුවෙන් අනුර කුමාර දිසානායක කියපු කතාවට බොහෝ දෙනෙක් සිනහසුණහ.
"සියලුම ධීවරයන් රක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. රක්ෂණ අරමුදලක් පිහිටුවනවා.' යනුවෙන් අදහස් දක්වමින් ධීවර ප්‍රජාව වෙනුවෙන් සිදුකරන සේවා රැසක් පිළිබඳව විජිත් විජිතමුනි සොයිසා විසින් අදහස් දක්වන ලදී.

'බාධා කරන්න එපා. මගේ ෆ්ලෝ එක නැති වෙනවා. අපි ධීවර ජනතාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග අහගෙන ඉන්න. මං මේවා කියවාගෙන එනවා.' යනුවෙන් විජිත් විජිතමුනි සොයිසා අමාත්‍යවරයා ප්‍රකාශ කරන විට මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
'කාලයක් මැණික් ගැරුවා. දැන් සත්ත්ව ගොවිපොළකුත් දාලා. මේ සත්ත්ව ගොවිපොළේ ඉන්නේ ආණ්ඩුවේ හරක්ද දන්නේ නැහැ' කියමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කීවේය.
'ගාල්ලේ රත්ගම ධීවරයන් අසරණ වෙලා. බහුදින ධීවර යාත්‍රා පමණක් නෙවෙයි එක්දින ධීවර යාත්‍රාවලින් මුහුදු යන ධීවරයන් අසරණ වෙලා. ඔබතුමාගේ ඥාතීන් මෙහෙම අසරණ වෙලා ඉන්නේ. ඔබතුමාගේ ගම ගාල්ලේ වුණාට ඔබතුමා දැන් ඉන්නේ ගාල්ලෙන් පිට.' යනුවෙන් චන්දිම වීරක්කොඩි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරය ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවැසුවේය.

අනුර කුමාර දිසානායක එල්ල කරන ලද චෝදනාවකට පිළිතුරු ලබාදීමට විජිත් විජිතමුනි සොයිසා අමාත්‍යවරයා නැඟී සිටියේය.
'හරකා නැති ගෙදර රෑ වෙනවා නොදැනේ
බල්ලා නැති ගෙදර හොරු එනවා නොදැනේ
කුකුළා නැති ගෙදර එළි වෙනවා නොදැනේ
අම්මා නැති ගෙදර කල එළියක් නොදැනේ
යනුවෙන් ජන කවියක් මැතිසබේ ගායනා කරමින් විජිත් විජිතමුනි සොයිසා විසින් අනුර කුමාර දිසානායකට පිළිතුරු ලබාදෙන ලදී.

පොලිස්පති පූජිත් ජයසුන්දර පිළිබඳවද ඊයේ මැතිසබය තුළ සාකච්ඡා විය. සති 2ක් ඇතුළත පොලිස්පති ධුරයෙන් පූජිත් ජයසුන්දරට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති හා අගමැති දැනුම් දුන් බවට පුවතක් ඊයේ ප්‍රවෘත්ති කෙටි පණිවුඩ හරහා ප්‍රචාරය විය.
මේ ගැන මැතිසබය තුළ මුලින්ම ප්‍රශ්න කෙළේ ඒකාබද්ධ විපක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත්ය.

ඊට පිළිතුරු ලබාදෙමින් නීතිය හා සාමය පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නලීින් බණ්ඩාර ප්‍රකාශ කෙළේ පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නැඟී සිටිමින් හොඳ හැටි පොලිස්පතිවරයාට දෙහි කැපුවේය.

පොලිස්පතිතුමා හැසිරෙන්නේ එතුමාට උචිත ආකාරයෙන් නෙවෙයි. මේ හැසිරීම ආණ්ඩුව අනුමත කරනවාද? යනුවෙන් අනුර කුමාර දිසානායක විසින් විමසන ලදී.

'පොලිස්පතිවරයා සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා ගැන අමාත්‍යාංශය මඟින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා' යනුවෙන් නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මේ අතර රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ හැසිරීම සහ ක්‍රියා කලාපය ගැන දීර්ඝ විස්තරයක් කරමින් පූජිත් ජයසුන්දර වහාම පොලිස්පති ධුරයෙන් ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ විසිනි.

එම ගැටලුව ගැන තමාගේ අවධානය යොමු කරන බව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරය දිනයේ කිරි පැකට් කතාව සමඟ කරළියට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්ට මේ වන විට කිරි මන්ත්‍රි නමින් නමක් පටබැඳී ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ ඇතැම් ජනතා නියෝජිතයන්ද මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා අමතන්නේ 'කිරී' නැත්නම් කිරි මන්ත්‍රි කියාය.
මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ගේ භෝජනාගාරයේදී දිවා ආහාරය ගනිමින් සිටි මුජිබර් රහුමාන්ගේ අසලට පී. දිගම්බරන් අමාත්‍යවරයා සමීප විය.
'එදා දුන්නේ මොන කිරිද? මී කිරි කියලත් ආරංචියි' යනුවෙන් පී. දිගම්බරන් කියපු කතාවට දෙදෙනාම හඬ නඟා සිනාසුණහ.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊයේ දින විශේෂ වැඩමුළුවකට සහභගි වූහ. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අධ්‍යයනය කිරීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ පිටකෝට්ටේ පිහිටි 'වියත්මඟ' කාර්යාලයේදීය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අයත් සංශෝධන කිහිපයක් ගැන ඊයේ පාර්ලිමේන්තුවේදී විවාද කෙරිණි.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයන් අතර උණුසුම් වාද විවාද ඇතිවිණි. පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පසුගිය ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල කළේය.
'පුත්තලම් බූරුවෝ, පුත්තලම් බූරුවෝ' යනුවෙන් ලොහාන් රත්වත්තේ, කංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ, සිසිර ජයකොඩි ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කෑගැසූහ.

'පුත්තලමේ බූරුවෝ විතරක් නෙවෙයි, හරකුත් ඉන්නවා. තමුන්නාන්සේලාගේ පැත්තෙත් හරක් ඉන්නවා. හැබැයි කල්පිටියේ, පුත්තලමේ බූරුවන්ට මේ බූරුවන්ට වඩා විනයක් තියෙනවා' යනුවෙන් පාලිත රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon