අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන්න

  👤  2473 readers have read this article !
By mawbima 2018-09-21

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට සැලසුම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳ සියලු පරීක්ෂණ පූර්ණ විනිවිදභාවයෙන් හා අපක්ෂපාතීව සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.

ඉහත සඳහන් චෝදනාවලට අදාළව මෙතෙක් කර ඇති පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් විමසා ඇත. එසේම ඊයේ වනතෙක් කළ පරීක්ෂණවල සමාලෝචනයක්ද ලබාගැනීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේය.

මාධ්‍ය ඔස්සේ විකාශය වූ දෙබස්වල හඬ පටද මේ වනවිට නියම තත්ත්වය විමසා බැලීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බවද නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කරුණු වාර්තා කර තිබිණි.

ඊට අමතරව රහස් පොලිසිය විසින් සිද්ධියට සම්බන්ධ බව කියන සියලු පාර්ශ්ව වෙතින් කටඋත්තර ලබාගැනීම මේ වනවිට කරගෙන යන බවද පරීක්ෂණයන්හි ප්‍රගතිය දක්වමින් අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
ඉහත සිද්ධියට අදාළ පරීක්ෂණ පුළුල් හා විනිවිදභාවයෙන් යුතුව කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා යළිත් වරක් නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

රුචිර දිලාන් මධුශංඛ 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon