පොලිස්පතිට අස්වෙන්න කියලා ජනපති-අගමැති කියලා නෑ -නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර

  👤  2404 readers have read this article !
By mawbima 2018-09-21

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ක්‍රියාකලාපය ගැන අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැතිවරයා නියෝග කර ඇතැයි නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

නීතිය හා සාමය අමාත්‍යාංශයට පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

පොලිස්පතිවරයාට සති දෙකක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවත් එවැනි ඉල්ලීමක් කළ බවට අමාත්‍යාංශයට හෝ පොලිස් කොමිසමට වාර්තා වී නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කනක හේරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී නැඟී සිටි ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රි පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පවසා සිටියේ ජනාධිපතිවරයා දුරකථනයෙන් මේ පණිවුඩය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවට මාධ්‍ය වාර්තා කරන බවයි. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ටෙලිෆෝන් ටැප් කරන්නේ නැති නිසා ඒ ගැන කිව නොහැකි බවයි.

ජේ.ටී. ද සිල්වා, 
රුචිර දිලාන් මධුශංඛ

 

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon