කුරුංගුරුං ආධාර ඉල්ලා මිහින්තලේ සතිපොළට එයි

  👤  2543 readers have read this article !
By mawbima 2018-09-21

මිහින්තලේ _

ර.මු.සු. රත්නායක, අනුරාධපුර
_ මහේෂ්
විජේසූරිය

ලංකාව පුරා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ 'කෝපි කඩේ' කුරුංගුරුංගේ චරිතය රඟපාමින් මහත්සේ ප්‍රසිද්ධියට පත් රංගන ශිල්පියකු වන කේ.ඒ. පියකරු මහතා (78) තමාට වැලඳී ඇති රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වියදම් වන මුදල සොයා ගැනීම පිණිස පෙරේදා (19දා) මිහින්තලේ සතිපොළ භූමියට පැමිණ මහජනතාවගෙන් ආධාර ඉල්ලා සිටිනු දක්නට ලැබිණි.

මෙහිදී 'මව්බිම'ට අදහස් දැක්වූ පියකරු මහතාගේ බිරිය වූ ප්‍රේමා අල්විස් මහත්මිය (70) මෙසේ පැවැසුවාය.

මගේ මහත්තයා අවුරුදු විසිපහකට වැඩි කාලයක් 'කෝපි කඩේ' හා වෙනත් ටෙලි නාට්‍යවල රඟපෑවා. ඔහුගේ මොළයේ ලේ කැටියක් හිරවීම නිසා කළුබෝවිල මහ රෝහලෙන් හා සිංහල වෛද්‍ය ක්‍රමවලින් ප්‍රතිකාර ලබාගත්තා. මේ වනවිට තරමක සුවයක් තිබුණත් ඔහුට රඟපෑමට හැකියාවක් නෑ.

රෝගය නිට්ටාවට සුව කර ගන්න විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. අපි ජීවත් වන්නේ ඉතා අමාරුවෙන්. ලක්ෂ ගාණක මුදලක් අප ළඟ නැති නිසා මහජනතාවගේ ආධාර ලබාගන්න තීරණය කළා.
මේ වනවිට 'කෝපි කඩේ' ප්‍රචාරය කළ ආයතනය මගේ මහත්තයා එම වැඩසටහනෙන් ඉවත් කරලා. නමුත් ජීවත් වීමට හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කාගෙන්වත් පිහිටක් නැහැ යනුවෙන් ප්‍රේමා අල්විස් මහත්මිය තම දුක් ගැනවිල්ල පැවැසුවාය.

මෙම අසරණ දක්ෂ කලාකරුවාට ආධාර උපකාර කොට ඔහුගේ ජීවිතයේ ඉතිරි කොටස යහතින් ගත කිරීමට සැලැස්වීම විශේෂයෙන් රජයේ බලධාරීන්ගේ යුතුකම වන්නේය.
අප රටේ කලාකරුවන්ට ජීවිතයේ සන්ධ්‍යා සමයේදී අත්විඳින්න සිදුවන ඛේදජනක ඉරණම ගැන තවත් හොඳම උදාහරණයක් ලෙස කේ.ඒ. පියකරු (කුරුංගුරුං) මහතා පෙන්වා දිය හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon