ලංවිම සභාපති කාර්යාල අඩස්සියේ තැබූ සේවකයන් 26 දෙනාට ස්ථාන මාරු

  👤  789 readers have read this article !
By mawbima 2018-09-21

හර්ෂණී අර්සකුලරත්න

2018 ජනවාරි 17 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුළ එහි සභාපති ඩබ්.බී. ගනේගල මහතා රඳවා ගනිමින් විරෝධතාවේ නියැළීමේ සිද්ධියට අදාළව විදුලි සේවකයන් 26 දෙනකුට පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් දී ඇතැයි ලංවිම වෘත්තීය සමිති පවසයි.

පැවැත්වූ ආයතනික විනය පරීක්ෂණවලදී එම සේවකයන් දැක්වූ නිදහසට කරුණු පිළිගත නොහැකි බැවින් එම ස්ථාන මාරුවීම් දී ඇති අතර එම සේවකයන් වෙත යොමු කළ ලිපිවල, ඔවුන් නීති විරෝධී සහ විනය විරෝධී විෂමාචාර ක්‍රියාවල නිරතව ඇති බවත් මෙවැනි ක්‍රියාවල මින් ඉදිරියට නොයෙදෙන ලෙසට තදින්ම තරවටු කරන බවත් සඳහන් කොට ඇත.

මේ සම්බන්ධව ලංවිම වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීම ලංවිම පාලනාධිකාරියට පෙනෙන්නේ විෂමාචාර ක්‍රියාවක් ලෙස නම් ලංවිම තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා ඇතුළු දැවැන්ත දූෂණ සඳහා සිංහල ශබ්ද කෝෂයෙන් නවතම වචනයක් හඳුන්වාදිය යුතු බවයි.

විදුලිබල ක්ෂේත්‍රය යෝධ පිම්මක් කරා ගෙන ගිය ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා සමරන සැමරුම් දිනයේම මෙලෙස විදුලි සේවකයන් දඩමීමා කර ගනිමින් පාලනාධිකාරිය ක්‍රියාත්මක වීම නින්දා සහගත බවද ඔවුහු පැවැසූහ.

සේවකයන්ගේ දිනක වැටුප්ද අහිමි කරමින් අසාධාරණ ලෙස කළ ස්ථාන මාරුවීම් මඟින් පාලනාධිකාරිය උත්සාහ කරන්නේ සිය පාලන බලය උපයෝගී කර ගනිමින් ලංවිම තුළ පාලනාධිකාරියට එරෙහිව මතුවන
විරෝධතා රැල්ල මැඬ පැවැත්වීමට බවද සඳහන් විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon