ගුවන් හමුදාපතිගෙන් කළ ඉල්ලීමට මාස තුනක් ගතවී ඇතත් පිළිතුරක් නෑ - නීතිඥ මෛත්‍රි ගුණරත්න

  👤  717 readers have read this article !
By mawbima 2018-09-21

මාපලගම - රසික සෙනවිරත්න

අගමැතිවරයා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් භාවිත කරනු ලැබූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගුවන් හමුදාපතිවරයාගෙන් තොරතුරු ඉල්ලා මාස තුනක් ගතව ඇතත් කිසිදු පිළිතුරක් මේ වනතුරු ලබාදී නැති බවද මෙම පසුබිම යටතේ තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රයෝජනයක් නොමැති බවද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රි ගුණරත්න මහතා "මේ යහපාලන ආණ්ඩුවෙන් ගෙනාවා තොරතුරු දැනගැනීමේ පනත.

මේක ඉතාමත් හොඳ දෙයක්. නමුත් තොරතුරු දැනගැනීමේ පනත ගෙනාවට තොරතුරු දැනගන්න බෑ මේ තොරතුරු පනතින්. ඒක තමයි ප්‍රශ්නය. අද එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අපි ගුවන් හමුදාපතිගෙන් ඉල්ලීමක් කළා තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මේ රටේ අගමැතිතුමා ගුවන් හමුදා හෙලිකොප්ටර් පාවිච්චි කරපු ආකාරය.

කොහාටද ගිහිල්ලා තියෙන්නේ, කී ගමනක් ගිහිල්ලා තියෙනවාද, මේකට වියදම කීයද කියන එක. දැනට මාස තුනකට කලින් අපි යවලා තියෙනවා ලියුමක්.

තාම ඒකට පිළිතුරක් නැහැ. මේකට සිහිකැඳවීමකුත් යැව්වා මේ වනතුරු සිහිකැඳවීමකුත් නැහැ. එතකොට ගුවන් හමුදාපති මේ රටේ නීතිය අනුගමනය කරනවාද කියන එකයි ප්‍රශ්නය.

ඇයි මේ තොරතුරු ටික දෙන්න බැරි? අගමැතිතුමා ගිය ගමන් ටිකනේ අපි අහන්නේ. මොකද අද හැම වෙලාවෙම හැමදේකටම හැම ගමනක්ම හෙලිකොප්ටර්වලින් ගමන් කරන යුගයක් අද ආරම්භ වෙලා තියෙන්නේ.

අගමැතිතුමා මේ රටේ වාහන තදබදය නවත්වන්නේ නැහැ. නමුත් දේශපාලකයන් මොකද කරන්නේ ගුවනින් ගිහින් ඒ වැඩේ කරගන්නවා. ජනතාව හැමදාම මහපාරේ ළතවෙනවා. මේ වගේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරලා, ඒ මුදල් පාවිච්චි කරලා මේ හෙලිකොප්ටර් කොහාටද ගියේ කියන එක දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා.

ඒ නිසා ගුවන් හමුදාපතිතුමනි, කරුණාකරලා මේක දෙන්න පුළුවන්ද කියලා කියන්න. එහෙම නැත්නම් දෙන්න බැහැයි කියලා කියන්න. එතකොට නීතිමය ක්‍රියාමාර්ගයන් අපි ගන්නම් කියන එක තමයි කියන්න තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon