ජේ.ආර්. ලා ප්‍රේමදාසලා හිටපු කාලෙ කාවදාවත් යූ.එන්.පී.යට මෙහෙම වෙලා නෑ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි ලොකුගේ

  👤  3278 readers have read this article !
By mawbima 2018-09-23

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු මේ දවස්වල කා කොටා ගන්නවා නේද?

නෑ. එහෙම කිසිම දෙයක් නෑ. වෙලා තියෙන්නෙ අද ආණ්ඩුවට අපි ගැන කතා කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ. හැමෝම අවබෝධ කරගන්න ඕන අපි එක්ක සහෝදර පක්ෂ කිහිපයක් ඉන්නවා. ඒ අයට එක එක මත තියෙනවා. නමුත් අපි ඔක්කොම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එක ගමනක් යනවා. ඒ හින්දා කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් අපට නෑ.

ඔබ එහෙම කිව්වට ඔබේ පක්ෂයේ ජේ‍යෂ්ඨයෙක් වන වෙල්ගම මන්ත්‍රිතුමා මේ දවස්වල මහින්ද මහත්තය ගැන ලොකු කතාවක් කිය කියා යනවා නේද?

නෑ. මෙහෙමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා වෙල්ගම මන්ත්‍රිතුමා කියන එවැනි ප්‍රකාශයක් කළේ නෑ.

එහෙනම් වෙල්ගම මන්ත්‍රිතුමා මොකක්ද මේ කරන සෙල්ලම?

ඒක ඉතින් එතුමගෙ පෞද්ගලික අදහසක්. අපේ අදහසක් නොවෙයි.

ඔබතුමාල ඉන්නෙ මහින්දට බැරි නම් ඉදිරි ජනාධිපතිවරණයේදී තවත් රාජපක්ෂ කෙනෙක් ගේන්න ඕන කියන තැනද?

අපි ඉන්නෙ එවෙලෙට සුදුසුම අපේක්ෂකයා ගේන්න ඕන කියන මතයෙ. අඟහරුවාදාත් පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලය දුන්නෙ ඒකට සුදුසු කෙනාව නම් කරන්න කියලා. මොකද මේ හැම කටයුත්තකම ප්‍රධාන සාධකය වෙන්නෙ මහින්ද රාජපක්ෂ. අද ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ක්‍රියාකරන්නෙ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ.

රට ඉන්නෙත් මහින්දගෙ නායකත්වයත් එක්ක. අපි ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. ඒ නිසා අපි ජනාධිපතිවරණය අපේක්ෂකයා තෝරාගන්නෙත් එතුමාගේ ආශීර්වාදය ඇතිවයි.
හැබැයි එක්සත් ජාතික පක්ෂය කියන්නෙ ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරන්නෙ මහත්තයෙක් නෙමෙයි කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා.

ඒක වෙන්න පුළුවන්. හැබැයි ඔය මොනව තිබුණත් අවසානයේ රනිල්ගෙ තීන්දුව තමයි තීන්දුව. නැත්නම් මේ තරම් මහා විශාල දේශපාලන පක්ෂයක් කෙහෙවත් නැති පක්ෂයක පොදු අපේක්ෂකයකුට දීලා අයින් වෙනවද? ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා හිටපු කාලෙ යූ.එන්.පි.යට කවදාවත් මෙහෙම වෙලා නෑ. මේ දියාරු, තීන්දුවක් ගන්න බැරි නායකයා ඉන්න නිසා තමයි යූ.එන්.පි. යට ඔහොම වෙලා තියෙන්නෙ. ඒ ගොල්ලෝ ඒක වහගන්න වෙන මිනිසුන්ට ඇඟිල්ල දික් කරනවා.
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සටන් පාඨය දැන් ඒකාබද්ධයට අමතක වෙලාද?

නෑ.නෑ. කිසිසේත් අමතක වෙලා නෑ. අපි ඒ ගේමෙ තවමත් ඉන්නවා. අපිට ඕනෑ කොහොම හරි පළාත් සභා මැතිවරණය තියා ගන්න.
ආණ්ඩුව ඕන වෙලාවක මැතිවරණයකට ලෑස්තියිලු?

එහෙනම් මොකටද සූත්තර දාලා ඡන්දෙ කල් දැම්මෙ. අපි අදටත් අභියෝග කරන්නෙ මැතිවරණය තියන්න කියලා. ඒ මදිවට අපි කියල තියෙනවා ඕන ක්‍රමයකට තියන්න කියලා.
පොහොට්ටුවෙ කොටසක් මේ ඡන්ද අස්සේ බැසිල් රාජපක්ෂට විරෝධයක් තියෙනවා නේද?

නෑනෙ. ඇත්ත වශයෙන්ම අපේ ආණ්ඩුව පරාජය වුණු වෙලාවෙ සමහර උදවිය බැසිල් මහත්තයට චෝදනා කළා. නමුත් අද එතුමව මුළු රටම අගය කරනවා. එතුමා තමයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කරලා අද සුවිශේෂ දේශපාලන පක්ෂයක් හදලා මහා ජයග්‍රහණයක් ලබා ගත්තෙ. එතුමා ඉතා දක්ෂ හොඳ සංවිධායකයෙක්. අද ඒ නිසා ලංකාවේ පළාත් පාලන ආයතන 300කින් 270ක් අපි ජයග්‍රහණය කළා. සභාපතිවරු පත් කළා. ඒක කාටවත් නෑ කියන්න බෑ.
පළාත් පාලන මැතිවරණ රැල්ල ඉදිරි මැතිවරණවලටත් තියෙයි කියලද හිතන්නෙ.

අනිවාර්යයෙන්ම කිසි ප්‍රශ්නයක් නෑ. ඒක තමයි පිළිබිඹු කළේ. මේ මාසෙ 5 වැනිදා. ඇයි රටේ ජනතාව ඒ තරම් රජයට විරුද්ධව පෙළ ගැහිලා එන්නෙ. අපිට ඕනකම තිබුණා ආණ්ඩුවට පෙන්නන්න රටේ වැඩි කොටසක් ආණ්ඩුවට විරුද්ධව ඉන්නවා කියලා. ඒ පණිවුඩය අපි දුන්නා.

ආණ්ඩුව කියන්නෙ හිතන තරම් සෙනඟක් ඒ විරෝධතාවට ආවේ නෑ කියලා.

ආණ්ඩුවේ වල්පල් කතා අපට වැඩක් නෑ. රටේ මාධ්‍යට දකින්න පුළුවන් වුණානේ ආපු ගණන. ගෝල්ෆේස් එකටත් ආණ්ඩුව ඔහොමනෙ කිව්වෙ. ඒක පුරවන්න බෑ කිව්වා. හැබැයි අපි ගෝල්ෆේස් එක පිරෙව්වා.
මිනිස්සු කොළඹ ආවෙ ආණ්ඩුවක් අරන් ගෙදර යන්න. හැබැයි ගෙදර යන්න වුණේ හිස් අතින් කියල ආණ්ඩුව කියනවා?

මිනිස්සු කොළඹ ආවේ ආණ්ඩුවට පෙන්නලා යන්න, අපි උඹලට විරුද්ධව ඉන්නවා කියලා. ඒක පෙන්නුවා. එහෙම පෙන්නලා ඒ මිනිස්සු ගියා. අපිට ඕන කරලා තිබුණේ කෝලාහලයක් නැතිව ඒ මිනිස්සු ගෙදර ගෙනියන්න. ඒක අපි කළා.
ආණ්ඩුව කියන්නෙ කෝලාහාල කරන්න දෙන්නෙ නැතිව ඒ මිනිස්සු ආදරයෙන් බලාගත්තා කියලා?

ආණ්ඩුව කරපු කෙංගෙඩියක් නෑ. අපි ආව මිනිස්සු ඒ තත්ත්වයට පත් කළේ නෑ. අපි කරපු උපක්‍රමය ඒගොල්ලන්ට තේරුණේ නෑ. ඒ අයට තේරුණේ ගෙදර ගියාට පස්සෙ.

මේ විරෝධතාවලින් ආණ්ඩුවට පාඩමක් උගන්නනවා කියලනෙ කිව්වෙ? කෝ පාඩමක් ඉගෙන ගත්තා කියලා පේන තෙක් මානයකවත් නෑනෙ?

පාඩමක් උගන්වන්න අවස්ථාවක් එන්න ඕනෙ. මැතිවරණයක් එන්න ඕනෑ පාඩමක් උගන්වන්න. මැතිවරණය ආපුවාම ජනතාව ආණ්ඩුවට පාඩමක් උගන්වයි. මිනිස්සු ඉන්නේ ඒ අවස්ථාව එනකන්.
මිනිස්සු පාඩම උගන්නන්නත් කලින් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අල්ලගෙන පොහොට්ටුව බෙදන්නෙ හදනවනෙ?
නෑ. නෑ. එහෙම වෙන්නෙ නෑ. අපි ඒක ඒ වෙලාවෙදී බලමු ඡන්දයක් අහපුවහම.

ඉදිරි ජනාධිපතිවරණයට මහින්ද ඇරෙන්න වෙන රාජපක්ෂ කෙනකුට පොහොට්ටුවේ බහුතරයක් කැමැති නෑනෙ?

ක ඒ වෙලාවේදී බලමු. දැන්ම ඒකට උත්තරයක් දෙන්න කල් වැඩියි.

රාජපක්ෂ කෙනෙක් ආවොත් තවත් මෛත්‍රිපාල සිරිසේන කෙනෙක් එළියට එයි කියලත් කතාවක් තියෙනවා?
ඒකටත් දැන්ම උත්තරයක් දෙන්න වේලාසන වැඩියි.

ඔබතුමා රාජපක්ෂවරුන් ගැන අහද්දී කට පරිස්සම් කරගන්නවා වගේ නේද?
අපොයි නෑ. එහෙම කිසිම දෙයක් නෑ. ඕන එකක් අහන්න.

සන්ධානෙ මහ ලේකම් කිව්වා රාජපක්ෂ ආණ්ඩුවේ අපිත් වැඩ කළේ බයෙන්. අපිටත් කතා කළේ සත්තුන්ට වගේ කියලා?

මට නම් කවදාවත් එහෙම වෙලා නෑ. දැන් හුඟක් අය එක එක කතා කියනවා. අපි ඒ ආණ්ඩුවෙ ඉද්දි බොහොම හොඳට වැඩ කළා.


මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට ගියේ ඉදිරි ජනාධිපතිවරණය ගැන ගිවිසුමකට එන්නද?

නෑ. එතුමාට ආරාධනා කරපු එකෙන්ම පේනවා ලෝකය එතුමව පිළිගන්නවා කියන එක. එතුමා ඉල්ලීමක් කරල නෙමෙයි ගියේ. ඉන්දියාවේ සංවිධාන එතුමට ආරාධනා කළේ. එතුමාට අද මේ රටේ ගොඩනැඟිලා තියෙන ප්‍රබලත්වය නිසා. ඒ හින්ද තමයි ඉන්දියාවේ අගමැතිතුමා එතුමා එක්ක කතා කළේ. අනෙකුත් දේශපාලන පක්ෂ හා හිටපු අගමැතිතුමා වගේ අය එතුමා එක්ක සාකච්ඡා කළා. ඒක තමයි එතුමාට මේ රටේ තියෙන බලවේගය ලෝකය. පිළිගන්නවා කියන එක.

ජනාධිපතිවරණය පරාජය වුණාට පස්සෙ එතුමා දිගින් දිගටම ඉන්දියාවට චෝදනා කළා?
එතුමාට වෙච්ච දේ ජනතාවට පැහැදිලි කළා මිසක් ඉන්දියාවට චෝදනා කළේ නෑ. එතුමා මේ පාර කිව්වෙ පසුගිය දේවල් අමතක කරලයි මම ඉන්නෙ කියලා. මොකද ලෝකේ රටවල් එක්ක හැමදාම වෛරයෙන් කටයුතු කරන්න පුළුවන්කමක් නෑ. එදා ඉන්දියාව යමිකිසි වැරැදි අවබෝධයකින් ක්‍රියා කළා නම් ඒක නිවැරැදි කරගන්න ඕනෑ.
ඉන්දියාව එක්ක යාළු වුණේ ආණ්ඩුව බය කරන්නද?

අපි මේ රටේ ආණ්ඩු බලය ගන්නවනම් අපට ඉන්දියාවේ, චීනයේ සහ යුරෝපීය රටවල් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟාගන්න වෙනවා. වැරැදි වැටහීමකින් ඒ අය ඉන්නවනම් ඒක නිවැරැදි කරගන්න ඕනෑ. ඒක තමයි මහින්ද මහත්තයා ඇමෙරිකන් තානාපතිතුමා එක්ක තිබ්බ සාකච්ඡාවෙදි කිව්වෙ මින් ඉදිරියට මගේ ප්‍රතිපත්තිය තමයි අලුත් බෝතලයක්, අලුත් ටේස්ට් එකක් කියලා. එහෙම තමයි රටවල නායකයො අලුතෙන් හිතන්න ඕනෑ. ආණ්ඩුවක් කරලා පරාජයට පත් වුණාම පරාජය වුණේ මොකද කියල බලලා ඒකට නිවැරැදි වැඩ පිළිවෙළක් හදන්න ඕනා. ඒකට මහින්ද මහත්තය ලෑස්තියි.

ආණ්ඩුවෙ මන්ත්‍රිවරු කියන්නෙ මහින්ද ඉන්දියාවට ගිහින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන හොඳ කිව්වා. මෛත්‍රිට බැන්නා කියලා. එහෙමද ඇත්තටම වෙලා තියෙන්නෙ?

ඒකෙ ඉතින් ආණ්ඩුවෙ ගැලවිල්ලට කියන කතාවක්නෙ. මහින්ද මහත්තය එහෙම කිව්වෙ නෑ. මොකද එතුමගෙ සාකච්ඡා මාධ්‍යයේ ගියා. හංගිලා ගිය ඒවා නොවේ.
ජවිපෙ ගෙනා 20 සංශෝධනය ගැන පොහොට්ටුව කලබල වෙලාද?

කලබලයක් නෑ. ඔය 20 කියන්නෙ ආණ්ඩුවට කඩේ යන්න ගෙනාපු සංශෝධනයක්. ඒක තුළින් අගමැතිට ඕන බලය අරන් දීලා ජනාධිපතිවරයා නිවටයෙක් කරල තියෙන්නෙ. ඒ එක්කම ජනවාර්ගික ප්‍රශ්නය ගැන වැදගත් තීන්දු ටිකක් තියෙනවා. අද මේ රට පාලනය කරන්නෙ ජනාධිපතිතුමා. පළාත් සභාවල බලතල දීල පළාත් සභාවල වැරැදි වැඩක් වෙනවනම් ඒක පාලනය කරන්නෙ ජනාධිපතිතුමාගෙ නියෝජිතයා හරහා. ඒ ආණ්ඩුකාරතුමා. මේකෙන් යෝජනා කරනවා. ආණ්ඩුකාරයා මහ ඇමැතිවරයාගෙ නියෝගවලට යටත් කරන තනතුරකට පත් කරන්න කියලා. එතකොට මේ රටට මොකද වෙන්නෙ. ඉන්දියාවෙත් ඒක දීල නෑ. ඉන්දියාවෙ මහ ආණ්ඩුව ආණ්ඩුකාරවරු පත්කරල තියෙනවා. රජිව් ගාන්ධි මරපු ඝාතකයන්ව නිදහස් කරන්න ඕන කියලා තමිල්නාඩුව තීරණය කළා. නමුත් අග්‍රාණ්ඩුකාරයා ඒකට අස්සන් කරනකම් ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එහෙම පාලනයක් ඕනෑ. මේ රටෙත් තියෙනවා. ඒක නැති කරන්න කියලද ජේ.වී.පී. එක කියන්නේ. ජේ.වී.පී. එක සුදු කොළයක් පෙන්නලා රට පාවා දෙන වැඩ පිළිවෙළක් මේකෙන් ඇතිකරල තියෙන්නෙ.
මේකට යූ.එන්.පී.යේ සහාය තියෙනවානම් ඔබතුමාල විරුද්ධ වුණාට වැඩක් නෑනෙ?

ඒකට තමයි අපි උත්සාහ කරන්නෙ. තුනෙන් දෙක නැති කරන්න. දැනටමත් ආණ්ඩුවේ කොටස් කිහිපයක් කියනවා ඡන්දෙ දෙන්නෙ නෑ කියලා. ආණ්ඩුවේ ශ්‍රී ලංකා මන්ත්‍රිවරුන් එක එක මත කියමින් ඉන්නවා. මේක ගෙනල්ලා බලන්න. එතකොට බලාගන්න පුළුවන්.

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගෙනාපු වෙලාවෙත් ඔබතුමාලා කිව්වා ආණ්ඩුවෙම යූ.එන්.පී. මන්ත්‍රිවරු කොටසක් ඡන්දෙ දෙනවා කියලා. අන්තිමේට ඒ අය ඔබතුමාලට කොකා පෙන්නුවා. මේ පාරත් එහෙම වෙයිද?
ඒකෙන් අපි ආණ්ඩුවට පාඩමක් ඉගැන්නුවෙ නෑ කියලද කියන්නෙ. අද ආණ්ඩුවට තුනෙන් දෙක ගැටලුවක් වෙලා. විශ්වාසභංග නිසා තමයි ඒක වුණේ. අපිට සියයට සියයක් ජයග්‍රහණය කරන්න බැරි වුණාට සියයට හැටක් අපි ජයගත්තා. මොකද එක පාරට සියල්ල ජයගන්න බෑ. අපි ජයග්‍රහණ මාවතට ඇවිල්ල ඉන්නෙ.

ඒ ජයග්‍රහණ මාවතට එන්න උදවු කරපු 16 දෙනා හරි හැටි පිළිගන්නවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරු කැමැති වුණේ නෑ නේද?

නෑ. අපි අවශ්‍ය පිළිගැනීම ඔවුන්ට දුන්නා. සමහර එක්කෙනෙක් දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් මතු වුණාට අපි ඒක විසඳගත්තා. අපි විරුද්ධ වුණේ 16 කණ්ඩායමක් හැටියට ඉන්නවට. ඒ අය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් හැටියට ඉන්න ඕනෙ කියලයි අපි කිව්වේ.

ඒ අය ඒකාබද්ධෙත් ඉන්නවා. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවටත් යනවා?

ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනෑ ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමේ කඳවුරේ ඉන්න එක විතරයි.
ඒක විතරමද අවශ්‍ය?

නෑ. ඊළඟ මැතිවරණයේදී අපි ඒ අයට උදවු කරනවා.

එහෙම උදවු කරන්නෙ කොහොමද ඒ අය තවමත් ශ්‍රීලනිපයෙනෙ?

ඒ අය එදාට තීන්දු කරන්න ඕනෑ කොයි පක්ෂයෙන්ද ඉල්ලන්නෙ කියලා. අපෙන් ඉල්ලුවොත් අපි උදවු කරනවා.

ජනතාව ඒ අය ගැන පැහැදීමකින් ඉන්නවා කියලද හිතන්නෙ?

ජනතාව ඒක තීරණය කරයි ඒ අය ගැන තීන්දුව කොහොමද ගන්න ඕනෑ කියලා. අපි ඒ අය ජනතාව අතරට එක්කගෙන යනවා.

ඇතැම් දිස්ත්‍රික්කවල පොහොට්ටුවෙ මන්ත්‍රිවරුන් ප්‍රසිද්ධියෙම ඒ අයට බනිනවා? එහෙම තියාගෙන කොහොමද එකට යන්නෙ?

මේ ඡන්ද ව්‍යාපාරයෙදි සහෝදරයටත් විරුද්ධව මනාප ප්‍රශ්න තියෙනවානෙ. ඒකට කලබල විය යුතු නෑ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නොවේ.
පළාත් සභා මැතිවරණය කෙසේ වෙතත් තව අවුරුද්දකින් ජනාධිපතිවරණය එනවා. දැන් අශ්වයා සූදානම්ද?

අපේ අශ්වයා සූදානම්. අපේ අශ්වයට වැඩිය අපි රටේ ජනතාව සූදානම් කරගෙන ඉන්නවා එන අශ්වයව ජයග්‍රහණය කරන්න. අපි දැන් කරන්නෙ ජනතාව සූදානම් කිරීම.
මේකට රාජපක්ෂ පවුලෙම අශ්වයො දෙන්නෙක් තුන්දෙනෙක් පොර කනවා නේද?

කිසිම පොරකෑමක් නෑ.
ඒ පවුලෙ ලොකුම අශ්වයා කියනවා ජනාධිපතිවරණ සටනේ කොනක එතුමත් ඉන්නවා කියලා?

වෙන්න පුළුවන්. මොකද අපට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාව හිර කරන්න යනවා. බැසිල්ව හිර කරන්න නඩු දාලා තියෙනවා. මහින්ද මහත්තය හිර කරන්න නඩු දාලා තියෙනවා. නාමල් රාජපක්ෂට නඩු දාලා තියෙනවා. ආණ්ඩුව දාන ගේම්වලට අහුනොවෙන්න වෙනම අශ්වයකුත් අපි තියාගෙන ඉන්න ඕනෑ.

මහින්ද මේ හදන්නෙ නාමල්ට තැනක් හදන්න? ඒකාබද්ධෙ මන්ත්‍රිවරු අඳුරේ අතපතගානව කියලයි එජාපය කියන්නේ?

නාමල් මන්ත්‍රිතුමාට රටට ඇවිල්ල ජනතාවට කතා කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ජනතාව එතුමාව පිළිගනියි. දැන් සජිත් බලන්න එතුමා නිකම් සජිත් ප්‍රේමදාස නෙවෙයි. ප්‍රේමදාස තාත්තාගෙ පුතා කියල කියන්නෙ. නවීන් දිසානායක ගාමිණී දිසානායකගේ පුතා කියල කියන්නෙ. ඉතින් ඒ වගේ දේශපාලන චරිත තියෙනවා. අවසානෙ ජනතාව තීරණය කරයි කවුද තෝරන්නෙ කියලා.

පොහොට්ටුව ඡන්දයක් එන්න කලින් පුපුරනවා කියලයි ආණ්ඩුව කියන්නෙ?

කිසිම පිපිරීමක් වෙන්නෙ නෑ. ඒකෙ සැකයක් තියාගන්න එපා. ආණ්ඩුවට ඩොලරය පාලනය කරගන්න බෑ. බඩු මිල එන්න එන්න වැඩියි. රෑට නිදාගෙන උදේ ඇහැරෙනකොට මොකක් හරි බඩුවක ගාණ වැඩිකරලා. එහෙම ආණ්ඩුවක්නෙ මේක. පොහොට්ටුව පුපුරන කෙංගෙඩියක් නොවෙයි. ගත්ත ආණ්ඩුව කරන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ මේ අයට.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන රටේ ලොකු කතාබහක් ඇතිවෙලා? ඒකාබද්ධය මේකෙන් දේශපාලන වාසිගන්න හදනව කියලයි ආණ්ඩුවේ චෝදනාව?

අපිට දේශපාලන වාසි ගන්න වුවමනාවක් නෑ. රටේ ජනාධිපතිවරයා මරන්න කුමන්ත්‍රණයක් කරපු වෙලාවක්. වහාම මේ ඩී.අයි.ජී.ව අත්අඩංගුවට ගත යුතුව තිබුණා. එහෙම නෙමෙයි කළේ. ස්ථාන මාරුවක් දුන්නා. අනිවාර්යය නිවාඩු යැව්වෙත් අපේ විරෝධය හමුවේ. අගමැතිතුමාද මේ කුමන්ත්‍රණයට උදවු කළේ කියලා රටේ ජනතාවට ලොකු සැකයක් තියෙනවා. ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් මේක. අපිට තියෙන සැකය තමයි මේ පරීක්ෂණ කරන්නෙ හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ.

රුචිර දිලාන් මධුශංඛ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon