පසුගිය දරදඬු පාලනයට එරෙහිව නැඟී සිටියේ එජාපය විතරයි

  👤  3250 readers have read this article !
By mawbima 2018-09-23

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන කතා වෙනවා. ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නමකුත් මීට සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවටත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා.

මේ වගේ දෙයක් ගැන මං කතා කරන්න කැමැති නැහැ කියලා මං මුලින්ම කියන්න කැමැතියි. දෙවැනි කාරණය මේ වගේ දෙයක් ගැන ජනමාධ්‍ය ආවට ගියාට වාර්තා නොකළ යුතුයි. මේ වගේ සිද්ධියකදී මාධ්‍ය පරිස්සමෙන් හැසිරෙන්න ඕන. ඔය කාරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපි බලමු මොනවාද වෙන්නේ කියලා. මේ ගැන දැනට කිසිවක් කියන්න බැහැ.
රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කියන කතාව ඉතාම බරපතළ කාරණයක්.

එය සුළුවෙන් තකන්න පුළුවන්ද?

මේ ප්‍රශ්නයට දෙන්න ඕන උත්තරය මං දුන්නා. තවත් ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර යම් ගැටුමක් පවතිනවාද?
එහෙම දෙයක් නැහැ. නමුත් එහෙම දෙයක් ඇති කරන්න ඇතැම් මාධ්‍ය උත්සාහ දරනවා.

එහෙනම් අගමැතිතුමා රටේ නැති වෙලාවක ජනාධිපතිතුමා විසින් විශේෂ කැබිනට් රැස්වීමක් කැඳෙව්වේ ඇයි?

රටක් පාලනය කරන විට යම් යම් අවශ්‍යතා අනුව මෙවැනි දේවල් කරන්න වෙනවා. එය පුදුමයට කාරණයක් නොවේ. මාධ්‍යයට ප්‍රවෘත්ති නැති නිසා මාධ්‍ය බලනවා මේක ප්‍රධාන පුවත ලෙස සකස් කරගෙන ඉදිරියටම ගෙනියන්න.
අග්‍රාමාත්‍යවරයා රටේ නැති වෙලාවක මේ ආකාරයෙන් කැබිනට් රැස්වීමක් පැවැත්වීමක් සිදුවුණේ අවුරුදු ගණනාවකට පස්සේ කියලා එස්.බී. දිසානායක හිටපු ඇමැතිතුමා කියලා තිබුණා.
මට නම් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න බැහැ. ඒක ඉතිං එතුමාගෙන්ම තමයි අහන්න ඕනෑ.

නමුත් මේ කැබිනට් රැස්වීමට එක්සත් ජාතික පක්‍ෂයේ අමාත්‍යවරුන් බොහෝ දෙනකු ගියේ යම් චකිතයකින් නේද?

මට නම් කිසිම කුතුහලයක් හෝ චකිතයක් තිබුණේ නැහැ. ඒ වගේම එම කැබිනට් රැස්වීම ගැන ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ.

මෙම කැබිනට් රැස්වීම සහ එහි සිදුවූ දේවල් පිළිබඳ වියට්නාමයේ නිල සංචාරයක නිරතව සිටි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් අමාත්‍යවරුන් ක්‍රියා කළාද?
එම කැබිනට් රැස්වීම ගැන තොරතුරු දැනගන්න අගමැතිතුමාටත් කුතුහලයක් තිබුණ කියලා මං හිතන්නේ නැහැ. රටක් රාජ්‍ය පාලනය කරනකොට යම් යම් අවශ්‍යතා අනුව මෙවැනි දේවල් සිදුවෙනවා. එය අරුමයට පුදුමයට කාරණා නොවෙයි. මාධ්‍යයට නිවුස් නැති නිසා තමයි මේ වගේ ඒවා පසුපස දුවන්නේ.

නමුත් ඔබ ආණ්ඩුවේ වගකිවයුතු අමාත්‍යවරයකු ලෙස මේ සිද්ධිය ගැන කියන්නේ කුමක්ද? මේක සුළුකොට තකන්න පුළුවන්ද?

වගකිවයුතු අමාත්‍යවරුන් නම් මුලින්ම ඉගෙන ගන්න ඕන කරන්නේ මාධ්‍යයෙන් කෙරෙන්නේ කුමක්ද? රාජ්‍යයෙන් කෙරෙන්නේ කුමක්ද? කියලා. සීමා බලා කතා කිරීමයි මාධ්‍යයෙන් කළ යුතුදේ කුමක්ද රාජ්‍යයෙන් කළ යුතු දේ මොකක්ද කියලා ඉතා හොඳ අවබෝධයක් ඇතිව ක්‍රියා කළ යුතුයි. ඒ ගැන මීට වඩා කතා කරන්න මං කැමැති නැහැ.

නඩු ගොනුකිරීම සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට නොගෙන සිටීම, ආරක්‍ෂක අංශ නිලධාරීන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනමින් විභාග කිරීම, ආරක්‍ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පෙර ජනාධිපතිතුමා දැනුවත් කිරීම වැනි කරුණු මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වුණේ ඇත්තටම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර යම් විරසකයක් පවතින නිසා නේද?
ඔබ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්ද කියලා තමයි මට මුලින්ම ඔබගෙන් අහන්න වෙන්නේ. ඔබ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු නොවෙයි. ඔබ මාධ්‍යවේදියෙක්. ඒක නිසා ඔබ අහන ගොසිප්වලට පිළිතුරු ලබාදෙන්න මට අමාරුයි.

නමුත් එම විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත්තු ඇතැම් තීරණ ගැන මාධ්‍යවල පළවුණා. ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් ඒ ගැන කතා කළා.

ඒක කියපු ඇමැතිවරුන්ගෙන්ම තමයි අහන්න ඕන. මට ඒකට පිළිතුරු ලබාදෙන්න බැහැ.

එහෙනම් අගමැතිවරයා රටේ නැති වෙලාවක ජනාධිපතිවරයා විසින් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳෙව්වේ ඇයි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිතුමා රටේ ඉන්නවාද නැද්ද කියලා බලලා නිසි දැනුවත් කිරීමකින් තමයි එවැනි කැබිනට් රැස්වීමක් කැඳවන්නේ. අගමැතිතුමා දැනුවත් කිරීමක් නොකර එවැනි කැබිනට් රැස්වීමක් කැඳවීමට විදියක් නැහැ. ඒක නිසා අගමැතිතුමා දැනුවත් කර තමයි එම කැබිනට් රැස්වීම කැඳවන්නට ඇත්තේ. ඒක නිසා ඒක එච්චර අරුමයකට කාරණයක් නොවෙයි. ඒකනේ මං කිව්වේ. ඔයගොල්ලන්ට නිවුස් නැහැ. ඒක නිසා මාධ්‍යවේදීන් නිවුස් හොයනවා. ඔයගොල්ලන් ඉන්නේ නිවුස් පිපාසයෙන්.

රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න ගැන සොයා බලන්න, කතා කරන්න, වාර්තා කරන්න ජනමාධ්‍යවලට තිබෙන අයිතිය ඔබ පිළිගන්නේ නැද්ද?

ඔව් මං අනිවාර්යයෙන්ම පිළිගන්නවා. තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වාට. රටේ තියෙන ප්‍රශ්න ගැන මාධ්‍ය කතා කරන්නේ නැහැ. මාධ්‍ය කියන එක සම්පූර්ණයෙන්ම නව නිදහස තුළ වෙනස් විය යුතුව තිබෙනවා. මං මේ මාධ්‍යයට බලපෑමක් කරනවා නොවෙයි. මේ නව නිදහස තුළ රටේ දියුණුව සඳහා මාධ්‍ය රටේ ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා. මං දේශපාලනඥයෙක් විදියට මගේ අත්දැකීමෙන් කියන්නේ වෛරයෙන්, කේ‍රා්ධයෙන් තොරව, ඊර්ෂ්‍යාවෙන් තොරව, වෛරය වපුරන්නේ නැතුව මාධ්‍ය වාර්තා කරනවා නම් මේ රට හුඟක් ඉදිරියට යන්න පුළුවන්. බොද්ධයන් බෞද්ධ ආගම අනුව හැසිරෙනවා නම් අන්‍යාගමික අය ඒ ඒ ආගම් අනුව හිතනව නම් එසේ කටයුතු කරන මාධ්‍යවේදීන්ටත් විශාල වැඩකොටසක් රට වෙනුවෙන් සිදුකරන්න පුළුවන්. එහෙම දෙයක් සිදුවෙනවා මට පෙනෙන්නේ නැහැ.

ඔබ කියන ආකාරයට ජනමාධ්‍ය මේ අවස්ථාවේදී කතා නොකරමින් මඟ හරිමින් සිටින ජනතාවගේ ප්‍රශ්න මොනවාද?

රටේ කොච්චර වැදගත් ප්‍රශ්න තියෙනවාද කතා කරන්න. ජනතාවගේ ජීවන තත්ත්වයට බලපාන කොතරම් ප්‍රශ්න තිබෙනවාද? එජාප දේවල් ගැන මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ. මං පුටුවේ වාඩිවෙලා කතා කළොත් මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ. මං මේසය උඩට නැඟලා කතා කළොත් තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. එතකොට මාධ්‍ය කොතනද ඉන්නේ. පුටුවේ වාඩිවෙලා කතා කරන පුද්ගලයා ගැන ලියනවාද? නැත්නම් මේසය උඩට නැඟලා කෑකෝ ගහන එක වාර්තා කරනවාද? මේසය උඩට නැඟලා ඉන්න කෙනා ගැන මාධ්‍ය මඟින් ප්‍රචාරය වුණාම පුටුවේ වාඩිවෙලා ඉන්න එක්කෙනත් කල්පනා කරනවා පුටුවේ වාඩිවෙලා ඉඳලා හරියන්නේ නැහැ කොහොම හරි මේසය උඩට නැග්ගොත් පමණයි ප්‍රචාරයක් ගන්න පුළුවන් වෙන්නේ කියලා.

ඔබ කියන්නේ අපේ රටේ ජනමාධ්‍ය ඔවුන්ගේ භූමිකාව නිසි පරිදි ඉටුකරන්නේ නැහැ කියලාද?

අපේ කලාපයේම සිංගප්පූරුව, මැලේසියාව රටවල පුවත්පත් බලන්න. එම පුවත්පත් සහ අපේ රටේ පුවත්පත් අතර සංසන්දනාත්මකව බලනකොට පෙනේවි අපි කොච්චර ගොසිප්වල ජීවත්වෙන පිරිසක් බවට පත්වෙලාද කියලා. සෑම මාධ්‍ය ආයතනයක්ම ලෝකයේ දියුණු රටවල එදිනෙදා පුවත්පත් ටික ගෙනල්ලා පරිවර්තනය කරලා බැලුවොත් තේරේවි අපේ ජනමාධ්‍ය කොතැනද ඉන්නේ කියලා.

ඔබ ඔහොම කිව්වට රටේ ප්‍රධාන ප්‍රශ්න ගැන අපේ රටේ ජනමාධ්‍ය ඕනෑ තරම් කතා කරනවා නේද?

ආණ්ඩුව විවේචනය නොකර සිටීමද? ඔබ යෝජනා කරන මාධ්‍ය කලාවෙන් කියන්නේ.
මං කියන්නේ රටේ දියුණුව වෙනුවෙන් ජනමාධ්‍ය ඔවුන්ගේ භූමිකාව නිසි පරිදි ඉටුකරන්නේ නැහැ කියලයි.

ඕනෑම ආණ්ඩුවක දුර්වලතා පෙන්වාදීම ජනමාධ්‍යයේ වගකීමක් නොවේද? වත්මන් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වීමෙන් රට දියුණු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම සඳහා ජනමාධ්‍ය කටයුතු කරනවා නේද?

ආණ්ඩුවක අඩුපාඩු පෙන්වාදීම ඉතාම වැදගත්. එසේ අඩුපාඩු පෙන්වා දෙමින් රාජ්‍යයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය මඟ ජනමාධ්‍ය පෙන්වාදීම ඉතාම වැදගත් දෙයක්. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව මාධ්‍යවල පළවන සියලුම වාර්තාවලට අවධානය ලක්කරලා අවශ්‍ය පිළියම් යෙදීමට ඉතා වගකීමෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් මම. ඒක නිසි තොරතුරු ඇතුළත් වාර්තාවක් නම් මං කඩිනමින් අවධානය යොමු කරනවා. නමුත් ඒක ගොසිප් එකක් වගේ දෙයක් නම්, කෙනෙකුට වෛරයෙන් ලියපු එකක් නම් මං ඒක කුණු බක්කියට දානවා. නමුත් අමාත්‍යාංශයේ දියුණුව වෙනුවෙන් ගතහැකි වාර්තාවක් නම් මං අවධානයට ලක්කරනවා. ඔබේ පුවත්පතේ පමණක් නොවෙයි සමස්ත පුවත්පත්වල බහුතරයක් තියෙන්නේ ගොසිප්.

මේ වෙලාවෙ රටේ දැඩි ආර්ථික අර්බුදයක් පවතිනවා. ඒක ආණ්ඩුවත් පිළිගෙන තිබෙනවා. මෙය ජනමාධ්‍යය වාර්තා කරනවා.. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ජීවන වියදම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මතු කිරීම ඉතා වැදගත්. ලෝකයේ තියෙන ක්‍රම වේදයකට ඩීසල්, පෙට්ට්‍රල්, භූමිතෙල්වලට මිල සූත්‍ර ගෙනාව. මේක ලෝකය පිළිගත් ක්‍රමවේදයක්. මේ ක්‍රමය ගේනකොට පාරිභෝගික ජනතාව වෙනුවෙන් අපේ රටේ පුවත්පත් පෙනී ඉන්නේ නැහැ.

නැහැ. ඒ කතාව වැරැදියි. ජනතාවට සිදුවන අසාධාරණයට එරෙහිවයි අප හඬ නඟන්නේ.

එහෙම පාරිභෝගික ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා නම් ඔබ කියන්න ඕන මේක ඉතා හොඳ ක්‍රමයක් කියලා. එහෙනම් පෞද්ගලික බස්රථ සංගම්වලට එරෙහිව ජනමාධ්‍ය ක්‍රියා කළ යුතුයි. ඒ වගේම පාන් පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 5කින් වැඩි වුණාම ජනමාධ්‍ය බේකරි හිමියන්ට කියන්න ඕන රුපියල් 5ක් පාන්පිටි වැඩිකළ හේතුවෙන් පාන් මිල වැඩි කරනවා නම් ඒක අසාධාරණයි කියලා. මේක වැරදි ක්‍රියාවක් කියලා. ජනමාධ්‍ය ආයතන බලන්නේ මෙවැනි සිද්ධියක් සිදුවුණාම ඇවිළෙන වැරැදි ගින්නට පිදුරු දාන්නයි.

ජනමාධ්‍යවලට ඇතැම් අවස්ථාවලදී රජයේ ප්‍රකාශක භූමිකාව කරන්න වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස පාන්පිටිවලට සාපේක්‍ෂව පාන් රාත්තලක මිල වැඩි කරනවා නම් ඊට එරෙහිව නීතිමය පියවරගෙන ක්‍රියා කළ යුත්තේ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියයි. එතැනදී පාරිභෝගික අධිකාරියෙ භූමිකාව සිදුකරන්න ජනමාධ්‍යට බැහැ. ජනමධ්‍යවලටත් යම් යම් සීමා තිබෙනවා.

ආණ්ඩුව අප්‍රසාදයට ලක්කිරීමට ජනමාධ්‍යට මැදිහත්වෙන්න පුළුවන් නම් ආණ්ඩුව ප්‍රසාදයට ලක්කිරීමට ජනමාධ්‍යයට මැදිහත්වෙන්න බැරිකමක් නැහැ නේද? ඇයි සාධාරණ ලෙස ජනමාධ්‍යයට මේ දෙකටම මැදිහත් වෙන්න බැරි. ජනමාධ්‍ය නිතරම ගන්නේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්කරන පැත්ත පමණයි. යම් මිලක් වැඩිවෙලා එහි මිල තවත් කාලයක් ගිහිල්ලා ලෝක මට්ටමින් අඩුවන විට ඊට සාපේක්‍ෂව එම මිල අඩු කරන්න ජනමාධ්‍ය පෙනී ඉන්නවාද? එහෙම පෙනී ඉන්නේ නැහැ. උදාහරණයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වෙනස්වීම පෙන්වා දෙන්න පුළුවන්. පුවත්පත් මුද්‍රණයට ගනු ලබන කඩදාසිවල මිල වැඩිවුණාම පුවත්පත්වල මිල වැඩිකරනවා.

එම කඩදාසි මිල අඩු වුණාම පුවත්පත්වල මිල අඩු වෙනවාද? එහෙම වෙන්නේ නැහැ. මං මාධ්‍යයට ‍ෙදාස් කියන්නේ නැහැ. නමුත් මෙතැන සාමාජීය ගැටලුවක් පවතිනවා. අසීමිත නිදහසක් භුක්ති විඳින්න වර්තමානයේදී මාධ්‍යවලට ඉඩ ලැබී තිබෙන අවස්ථාවකදී මාධ්‍යයට විශාල වගකීමක් තියෙනවා රටේ ඉදිරිය වෙනුවෙන් පෙනී සිටින්න. තවත් කාරණයක් කියන්න ඕන. අපේ රටේ පුවත්පත් අතට අරගෙන බැලුවහම තීන්ත ගෑවෙන නිසා අත් සෝදන්න වෙනවා. ඒකට හේතුව බාල වර්ගයේ තීන්ත වර්ග භාවිත කිරීම. වෙනත් රටවල පත්තර කියෙව්වාම අත් සෝදන්න ඕන වෙන්නේ නැහැ. ඒක නිසා මාධ්‍ය සම්පූර්ණ වෙනසකට ලක්විය යුතුයි.

ඔබ කියන ආකාරයට රටේ ඉදිරිය වෙනුවෙන් පෙනී ඉන්නවයි කියන්නේ ජනමාධ්‍ය විසින් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුව වර්ණනා කළ යුතුයි කියන එකද?

ඇයි ආණ්ඩුව වර්ණනා කරන්න බැරි. ආණ්ඩුවට එරෙහිව ‍ෙදාස් කියන්න පුළුවන් නම් ආණ්ඩුව වර්ණනා කරන්න බැරි ඇයි? කවුරු හරි මැරුණට පස්සෙම හොඳ ලියන්න ඕනද? ජීවත්වෙලා ඉන්නකොටත් හොඳ ලියන්න පුළුවන් නේද? ඔබ නරක දේ ලියන්න බොහොම උනන්දුයි. ඔබ හොඳ දේ ලියන්න උනන්දු වෙන්නේ නැහැ.

ඔබ අපේ රටේ මාධ්‍යය හොඳක් දකින්නෙම නැද්ද
ඉං ‍ෙදාස් කියන්නේ නැහැ. මං කියන්නේ වෙනස් වෙන්න ඕන කියලයි. විදෙස් රටවලට මාධ්‍යවේදීන් යවලා ඒ ඒ රටවල මාධ්‍ය වාර්තා කරන ආකාරය ගැන අත්දැකීම් ලබාදිය යුතුයි. ඒ වගේම විදෙස් රටවල පුවත්පත් අපේ රටේ මාධ්‍යවේදීන්ට ගෙන්වලා දීලා ඒවායේ වාර්තාකරණය ගැන අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි.

මේ වෙලාවේ මේ රට තුළ අසීමිත මාධ්‍ය නිදහසක් තිබෙනවා කියලා ද ඔබ කියන්නේ?

ඔව් පැහැදිලිව තිබෙනවා. සාපරාධී අපහාස නීතියක් ඉවත් කරලා තියෙන්නේ. මාධ්‍යයට කිසිම තර්ජනයක් නැහැ. එතකොට අසීමිත මාධ්‍ය නිදහසක් මේ වන විට අප රට තුළ ක්‍රියාත්මකයි.
සාපරාධී අපහාස නීතියත් ඉවත් කරපු වෙලාවක ජනමාධ්‍ය සාපරාධී ලෙස හැසිරෙන්න හිතනවා නම් එය බරපතළ ඛේදවාචකයක්.

නමුත් ඔබ සුපිරි මාධ්‍ය නිදහසක් වර්තමානයේදී ක්‍රියාත්මක වන බව කිව්වට මේ ආණ්ඩුවෙනුත් මාධ්‍යවලට බලපෑම් එල්ල වෙලා තියෙනවා නේද?
මාධ්‍ය නිදහසට මේ ආණ්ඩුවෙන් කිසිදු බලපෑමක් එල්ල වෙලා නැහැ.

නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම මාධ්‍යවේදීන්ගේ නම් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් යම් යම් දේවල් කිව්වා. මේක මාධ්‍යට කරපු බලපෑමක් නොවේද?

ඔව් ඉතින් මාධ්‍යවේදීන්ට දේශපාලනඥයන්ගේ නම් කියන්න පුළුවන් නම් දේශපාලනඥයන්ට මාධ්‍යවේදීන්ගේ නම් කියන්න ප්‍රශ්නයක් නැහැ නේද? එහෙම බැරිකමක් තියෙන්න විදියක් නැහැ නේද?
නමුත් අගමැතිතුමා එහෙම මාධ්‍යවේදීන් කිහිපදෙනකුගේ නම් කියනවිට එම මාධ්‍යවේදියාට හා මාධ්‍ය ආයතනයට යම් බලපෑමක් සෘජුව හෝ වක්‍රව එල්ල වෙනවා නේද?

නම් කිව්වයි කියලා එහෙම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. එතනදී අගමැතිතුමා සියයට සියයක්ම නිවැරැදියි. මාධ්‍යවේදීන් ඕන තරම් දේශපාලනඥයන්ගේ නම් කියන්නේ. ලියන්නේ. ඉතින් මාධ්‍යවේදීන්ගේ නම් දේශපාලනඥයන් කිව්වම වෙන්නේ මොකක්ද? මාධ්‍යවේදීන් මේ රටේ සුපිරි පුරවැසියන් නොවෙයි නේද? මාධ්‍යවේදීන් මේ රටේ සාමාන්‍ය පුරවැසියන්. අගමැතිතුමත් මේ රටේ පුරවැසියෙක්. මාධ්‍යවේදීන් අපි ගැන ලිව්වා කියලා බලපෑමක් වෙන්නේ නැහැ. එහෙම බලපෑමක් වෙනවා නම් අපි මන්ත්‍රිවරුන් වෙන්නේ නැහැනේ.

පසුගිය ආණ්ඩුවට සාපේක්‍ෂව වත්මන් ආණ්ඩුවෙන් සුපිරි මාධ්‍ය නිදහසක් ලබාදී තිබෙනවා කියලද? ඔබ ඔය කියන්නේ?

අනිවාර්යයෙන්ම ඔව්. ජර්මනියේවත්, ප්‍රංශයේවත් නැති සුපිරි මාධ්‍ය නිදහසක් වර්තමාන ආණ්ඩුව යටතේ අපේ රටේ මාධ්‍යවේදීන්ට ලැබිලා තියෙනවා. අපේ රටේ සරල නීතිය තමයි මරණ දැන්වීමක් වුණත් මුද්‍රණය කරන විට යටින් ගහනවා අසවල් ස්ථානයේ පදිංචි අසවලා විසින් මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලදී කියලා. නමුත් මේ වෙනකොට එහෙම නමක් ගමක් සඳහන් නොකර ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් මුද්‍රණය කර ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඕනෑම මඩක් ගහන්න පුළුවන්. ඕනෑම දෙයක් ලියන්න අයිතිකාරයෙක් ඕන වෙන්නේ නැහැ.

නමුත් ඔබ ඔහොම කිව්වට පසුගිය දින කිහිපයේම ෆේස්බුක්වල යම් යම් දේවල් පළවුණා යැයි කියමින් සැලකිය යුතු පිරිසක් රහස් පොලිසියට කැඳවලා ප්‍රශ්න කරලා තියෙනවා. මීට අමතරව ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුගෙන්ම රහස් පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මේක සුපිරි මාධ්‍ය නිදහසේ ලක්‍ෂණයක්ද?

එහෙම කවුරුත් රහස් පොලිසියට කැඳවන්න ඕන නැහැ. නීතියේ යම් සංශෝධනයක් සිදුකළ යුතුව තිබෙනවා. යමකු තවත් කෙනකු ගැන කුමන හෝ ආකාරයකින් යම් ප්‍රකාශයක් කරනවා නම් එහි වගකීම භාරගත යුතුයි කියලා. මං ගැන ඔබ ප්‍රකාශයක් කරනවා නම් එහි සම්පූර්ණ වගකීම ඔබ භාරගත යුතුයි. මං ඔබ ගැන ප්‍රකාශයක් කරනවා නම් එහි වගකීම මම භාරගත යුතුයි. නැත්නම් ඒක සමාජ ද්‍රෝහී ක්‍රියාවක් බවට පත්වෙනවා. ඔබට වගකීමෙන් තොරව කිසිවකු ගැන ප්‍රකාශ කරන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙනවා නම් ඒක සමාජ විරෝධී ක්‍රියාවක්.

නමුත් 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ක්‍රියාත්මක වූ ආකාරය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයට යම් තීරණාත්මක සාධකයක් බවට පත්වුණා. එහිදී අපි දැක්කා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ අයටත් පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ෆේස්බුක් හරහා මඩ ප්‍රහාරයන් ඇතුළු විශාල ප්‍රහාරයන් එල්ල වුණා.

නමුත් ඒ අවස්ථාවේදී නම් ඔබ දැන් කියන කතාව කිව්වේ නැහැ නේද?


ඒ අවස්ථාවේදී ඔබ කියන ආකාරයෙන් සමාජජාලා හැසිරුණේ නැහැ. එතකොට සාපරාධී අපහාස නීතිය ක්‍රියාත්මක වෙලා තිබුණේ. ඒක නිසා සමාජජාලා ක්‍රියාකාරීන් යම් බියකින් හිටියේ. අද නිදහස දුන්නට පස්සේ ඒ වගකීම හරියට ඉටු වෙන්න ඕන. අපි ලෝකයේ හැම එකටම හොඳයි කියනවනේ.

එහෙම නම් ජර්මනියේ තියෙන නීතිරීති අපේ රටට ගෙනෙමු. ඒකට අකැමැතිද? ජර්මනිය දියුණුයිනේ. ඒ ආකාරයෙන් දියුණු රටක තියෙන මාධ්‍ය සම්ප්‍රදාය, නීතිරීති අපේ රටට කොච්චර වැදගත් වේවිද?

හිටපු ජනධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට සමාජජාලා ඇතුළු ෆේස්බුක් රැල්ල ක්‍රියාත්මක වුණා කියලා ඔබ පිළිගන්නේ නැද්ද?

නැහැ. එදා අසීමිත වල්බූරු නිදහස භාවිත කිරීමට හැකියාව තිබුණේ නැහැ. නමුත් අද අසීමිත වල්බූරු නිදහස භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණවලට බයද?
මහ දරදඬු පාලනයක් තිබුණු පසුගිය ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය නැඟී සිටියා. බියක් තිබුණා නම් එහෙම වෙන්නේ නැහැනේ. ජනමාධ්‍යයත් බයේ ඉන්න කොට පසුගිය දරදඬු පාලනයට එරෙහිව නැඟී සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පමණයි. ඒ වෙලාවේ ජනමාධ්‍ය හැසිරුණේ සුවච කීකරු කණ්ඩායමක් වශයෙන්. එක්සත් ජාතික පක්‍ෂයට වඩා මේ රටේ ජනමාධ්‍ය ඒ අවස්ථාවේදී හිටියේ බොහොම පිටුපසින්.

මැතිවරණවලට බය නැත්නම් පළාත් සභා 3ක මැතිවරණය වසරකට ආසන්න කාලයක් තිස්සේ කල් දාන්නේ ඇයි? තවත් පළාත් සභා 3ක කාලසීමාව ළඟදීම අවසන් වෙනවා. මේ මැතිවරණ පවත්වන්නේ නැත්තේ එක්සත් ජාතික පක්‍ෂයට මැතිවරණවලට යෑම සඳහා බියක් තිබෙන නිසා නේද?

2015 ජනවාරි 08 සහ 2015 අගෝස්තු 17 වැනිදා මේ රටේ පැවැති ප්‍රධාන ජාතික මැතිවරණ දෙකේදීම අපි ලබාදීපු එක් පොරොන්දුවක් තමයි, කඩින්කඩ පවත්වන පළාත් සභා මැතිවරණ අපි නතර කරනවා කියලා.

ඊට ජනතාවගේ අනුමැතිය ලැබිලා තියෙනවා. කඩින්කඩ පළාත් සභා මැතිවරණ පවත්වන විට සිදුවන මැරකම්, දූෂණ නතර කිරීමට පියවර ගත යුතුයි කියලා අපි කිව්වා. එහෙම කඩින්කඩ මැතිවරණ තියෙන කොට රාජ්‍ය බලය අනිසි ලෙසත් යොදවනවා. තුන්වැනි ලෝකයේ රටක් විදියට මේ තත්ත්වයට අපි ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක නිසා මේ රටේ පළාත් සභා මැතිවරණය එකවර පැවැත්වීමට අවශ්‍ය මහජන අනුමැතිය අපිට ලැබිලා තියෙනවා. මෙහිදී ඉතා වැදගත් වෙන්නේ මහජන අනුමැතියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහළම මහජන අනුමැතිය මිසක් වෙන කවුරුත් නොවේ.

එතකොට මැතිවරණ ව්‍යාපාරය තුළ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරනවා කියලා කිව්වෙත් ඒ පදනමින්ද?
ඔව්. මහජන අනුමැතිය ඊට හිමිවුණා.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම කරන්න ප්‍රතිපාදන තිබුණේ නැහැ නේද? එතකොට පාර්ලිමේන්තුවේ 160 ගණනකගේ සහාය තිබුණේ එවකට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට. රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ආසන 46ක් පමණයි නේද?

මහජන පරමාධිපත්‍ය බලය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුප්‍රිම් වන්නේ. මෛත්‍රි - ජනපති, රනිල් - අගමැති කියන කාරණයට තමයි අපි මහජන අනුමැතිය ලබා ගත්තේ. ඒක නිසා තමයි 46ක් ඉඳලත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති ධුරයට පත්වෙන්නේ.


එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති නිසා එය නීති විරෝධී නැද්ද?

නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහළින්ම තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය. ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රධාන ජාතික මැතිවරණ දෙකේදීම ලැබුණේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමටයි. 1978දී ජනමත විචාරණය ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළා. එතකොට මහජනතාව අනුමත කරපු දේ තමයි වඩාත් වැදගත් වෙන්නේ.

එතකොට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩි බලයක් ලබා ගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට මේ වෙනකොට ආණ්ඩුවට ජනමතයක් නැද්ද?

ජාතික මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන කියන්නේ මැතිවරණ වර්ග 3ක්. ජාතික මැතිවරණවලදී තමයි රටේම පාලන බලය හිමි වෙන්නේ. අනෙක් මැතිවරණ ජය ගත්තාම හිමි වෙන්නේ ඒ ඒ අයතනවල බලය විතරයි. මීළඟ ජාතික මැතිවරණය දක්වා බලය හිමි අපිට. ඊළඟ ජාතික මැතිවරණවලදී ජනමතය නැවත විමසුමට ලක් වෙනවා.

මීළඟ ජාතික මැතිවරණවලට එක්සත් ජාතික පක්‍ෂයේ සූදානම කුමක්ද? ඔබ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද?

ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්‍ෂය සූදානම්. මේ රටේ බහුතරයක් පොදු මහජනතාව ඉන්නේ අපි සමඟයි. අපේ ජනාධිපති අපේක්‍ෂක කවුද කියලා වෙලාවට අපි කියන්නම්. ඒකට තව කල් තියෙනවා. දේශපාලනයේ පැය 24ක් කියන්නේ විශාල කාලයක්.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon