ලෝකෙටම පෙනෙන්න සිංහලෙන් මෘදුකාංගයක් හදපු එල්ලාවල සඳරුවන

  👤  3362 readers have read this article !
By mawbima 2018-09-23

එල්ලාවල පහළගම රත්නපුරේ කුරු ගඟටත් එල්ලාවල ගඟටත් මැදිවුණු පුංචි ගම්මානයක්. මේ ගම හුඟක් ප්‍රසිද්ධ මැණික්වලට. ගමේ හුඟදෙනෙක් රස්සාවට කරන්නෙ මැණික් පතල් වැඩ. ඒ වගේමයි ඒ පතල්වල හම්බවෙන්නෙත් නිල්, රතු, ආරනූල්, පසිංගල් වගේ මිල කරන්න බැරි වටිනා මැණික්.

අපි මේ කතා කරන්න යන්නේ එල්ලාවල පහළගමින් මතුවුණු අමුතුම තාලේ මැණිකක් ගැන.

රස්සාවට පතල් කැපිල්ල කරල වේල දෙවේල පිරිමහගන්න පහළගම සේනාරත්නට ලැබුණු අමුතුම ජාතියේ වටිනාකමක් තිබෙන නිල් රතු වෛරෝඩිවලටත් වඩා වටිනා මැණිකක් ගැනයි ඒ කතාව.
ඒ තමා සේනාරත්නගේ පුතා තිසර සඳරුවන්.

අපි මේ කතාකරන්න යන්නෙ කිරිඇල්ල මහා විද්‍යාලයේ අයි.ටී. ලැබ් එකෙන් රටට බිහි කරපු ඒ පුංචි පරිගණක සූරයා තිසර සඳරුවන් ගැනයි.

කිරිඇල්ල මහා විද්‍යාලයේ ගුරුවරයකු වන උපුල් ගුරුතුමා තමා සඳරුවන් ගැන හොයන්න යන්න පාර පෙන්නුවෙ. ඒත් ඒ යද්දි සඳරුවන් ඉස්කෝලෙත් නැහැ. පහළගම ගෙදරත් නැහැ. ඒ වෙලාවෙ තිසර කඩුවෙල එයාගෙ නැන්ද කෙනෙක්ගෙ ගෙදර ගිහින්. මොකද දන්න අඳුනන අය හොයාදෙන පුංචි පුංචි පරිගණක වැඩසටහන් කරල දීලා අතට වියදමට සල්ලි හොයාගන්න එයාට සිද්ධ වෙලා. එයාට අවශ්‍ය අඩුම කුඩුම විය පැහැදම් දරන්න එයාගෙ තාත්තට හයියක් නැහැ. වෙනත් උදවු කරන කෙනෙකුත් නැහැ.

තිසර ජීවත්වෙන ගෙපැල දැක්කම ඒ ටික නං අපිට දැනුණ. බාගෙට හදාගත්ත පුංචි ගේ පොඩ්ඩට හරිහමන් වහලයක් නැහැ. උළුවහු ජනෙල් තිබුණට පියන් නැහැ. ඉටිරෙදි තමා වටේට.

උපුල් සර් ඊළඟට මට මුණගැස්සුවෙ කිරිඇල්ල මහ විදුහලේ අයි.ටී. සර් රනිත පියංකර. විද්‍යාපීඨ පුහුණු ගුරුවරයෙක්. ගම අම්පාර. දැන් ඉන්නෙ කිරිඇල්ලෙ.

තිසර සඳරුවන් දරුව මට මුණගැහුණෙ 2016 අවුරුද්දෙ. එයා කිරිඇල්ල මහා විද්‍යාලයට ආවෙ පහළගම ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළ හදාරන්න.
එයා තාක්ෂණ විෂයට ළැදි වගේම ලොකු උන්දුවක් දක්වන බව මට මුල් දවස් කීපයෙන්ම තේරුම් ගියා.

එයා කලින් ඉස්කෝලෙ ඉඳිද්දිත් පරිගණක ආශි්‍රතව විවිධ නිර්මාණ කරලා දස්කම් පෙන්නපු කෙනෙක්. ඒ නිසාම එයා අපේ ඉස්කෝලෙදි එයාගෙ දක්ෂකම් ආශාවල් ඉස්මතු කරගත්තා. අපි ඒවට ඉඩ දුන්නා. අවශ්‍ය උපදෙස් දුන්නා.
විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා එයාගෙ කුතුහලය අවදි කරගන්න, තොරතුරු හොයාගන්න පහසුකම් සැලසුවා. විදුහල්පතිතුමා අපට අවශ්‍ය සහයෝගය දුන්නා විතරක් නොවෙයි, අලුත් අලුත් දෙය කරන්න අපිව පෙලඹවූවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමා තිසර සඳරුවන්ගෙ මේ විස්මිත නිර්මාණය බිහිවුණේ.

මේ නිර්මාණයේ තියෙන විශේෂත්වය තමා අනුගත කිරීම් සඳහා ඇති උපදෙස් සිංහල භාෂාවෙන් ලියා තිබීම. මම දන්න තරමට මෙවැනි තවත් නිර්මාණයක් නැහැ.

මට දැනෙන විදියට පරිගණක වයිරස් ගාඩ් එකක තිබිය යුතු ගුණාංග මේකෙ තියෙනවා. වෙනස තියෙන්නෙ අපිට වෙළෙඳපොළේ තියෙන්නෙ ඉංගී්‍රසි භාෂාවෙන් කිවයුතු ප්‍රති වයිරස් මෘදුකාංග. ඒත් තිසරගේ නිර්මාණයේ කියැවෙන භාෂාව, ඒ කියන්නෙ ලා දස් ලියල තියෙන්නෙ සිංහල භාෂාවෙන්. පුංචි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදියට.

එහෙම කියද්දි තමා තිසර සඳරුවන් එතැනට ආවෙ.

"මේ ඔයා ගැන හොයන්න පත්තරෙන් ඇවිදින්, අපි ගෙදරටත් ගියා." එහෙම කිව්වෙ උපුල් සර්.

"අහිංසක විදියට අපි දිහා බලපු තිසර ලොකු වැරැද්දක් කරපු කෙනෙක් වගේ බිම බලාගත්තා. මම නැන්දලාගෙ ගෙදර ගියා ආපහු එන්න සල්ලි තිබුණෙ නැති නිසා ඊයේ එන්න බැරි වුණා. අද උදෙයි එහෙන් ආවෙ. ඒකයි ටිකක් පරක්කු වුණේ." උපුල් සර් දරුවගෙ ඔළුව අතගෑවා. හරියට තාත්ත කෙනෙක් වගේ.

"නෑ. නෑ. පුතා ඒකට කමක් නැහැ. දැන් අපිට පුතාව හම්බවුණානෙ. පුතාම කියන්නකො දැන් ඔයාගෙ වයිරස් ගාඩ් එක ගැන."
එයාගේ අයි.ටී. සර් රනිත ප්‍රියංකර ගුරුතුමා තිසරව ළඟට ගත්තා.

ආගිය විස්තර අහලා අපි ආයෙම මාතෘකාවට බැස්සා. තිසර එයාගෙ කතාව කිව්වා.
"මගේ ගම එල්ලාවල, පහළගම. මම පවුලේ වැඩිමලා. තව මල්ලි කෙනෙක් ඉන්නව තවම පහ වසරේ. තාත්තාට හරියට රස්සාවක් නැහැ. පතල්වල වැඩට යනවා. වාසියක් වුණොත් තමයි කීයක් හරි අතට එන්නෙ. නැත්නම් වියදම් කාසි තමා. ඒකෙන් තමා අපි කන්නෙ බොන්නෙ ඉස්කෝලෙ යන්නෙ.

"අපිට ඉන්න හිටින්න හරිහැටි ගෙයක් නැත්තෙ. හම්බවෙන දෙයින් ගෙවල් හදන්න බැරි නිසයි. මම කොළඹ ගියෙත් මොකක්හරි කරල රස්සාවක් හොයාගන්න. මොකද තාත්තට හැමදාම අපේ බර දෙන්න බෑ." තිසර කිව්වෙ හැඟුම්බරවයි.

"මම පුතාගෙ නිර්මාණේ ගැන ටීවී එකෙන් දැක්ක. පුතා ලොකු දක්ෂකමක් කරලා තියෙන්නෙ. දැන් පුතා ගැන රටම කතා කරනවා. ඉස්කෝලෙටත් ලොකු ආඩම්බරයක්. ඉතින් අම්මට තාත්තාට කොහොමට සතුටු ඇද්ද?" මම තිසරගෙ හිත වෙන අතකට හරවගත්ත.

"පුතාගෙ මේ නිර්මාණය මොකක්ද? මට ඔයාගෙ සර් ටිකක් විස්තර කිව්වා. දැන් පුතාම කියන්නකො ඇයි පුතාට මෙහෙම දෙයක් කරන්න හිතුණෙ."

"අපේ සර්ලා තමයි මාව මෙතනට යොමු කළේ. මම පහළගම ඉස්කෝලේ සිටියදිත් මේ වගේ පුංචි පුංචි දේවල් කළා. ඒකෙ ප්‍රතිඵලයක් තමා අද අපි එළිදැක්වූවෙ. මම අන්තර්ජාලය හරහා ඒ වගේම පොතපතින් ඉගෙනගත්තු දෙය ක්‍රියාවට නැඟුව. වැරදුණහම අතහැරියෙ නැහැ. ආයෙ, ආයෙ හරියනකම් කළා. බැරිම වෙනකොට සර්ගෙන් අහනවා. සර් ඒවා තෝරලා බේරලා දෙනවා.

"අපි මේ නිර්මාණය කරද්දි දාහත් වතාවක් අත්හදා බැලුවා. වැරදුණා. ආයේ ආයේ කළා. අන්තිමට තමා මේ නිර්මාණය එළිදැක්කේ." සඳරුවන්ගෙ අයි.ටී. සර් රත්න ප්‍රියංකර ගුරුතුමා කිව්වේ, යුද්ධයක් දිනාගත්ත සෙන්පතියෙක් වගෙයි.

"අපි ඒ ගැටලුවලට පිළිතුරු හෙව්වෙ යාළුවො වගෙයි. මොකද සමහර වෙලාවට මගේ දැනුමටත් අභියෝග වෙන වෙලාවල් තිබුණා."
මේ වෙද්දි ජනප්‍රිය ප්‍රති වයිරස් මෘදුකාංග එමට තියෙනවා.

වයිරසයක් පරිගණකයට ඇතුළත් වුණහම ස්වයංක්‍රියව පිටපත් වෙනවා. ඒකෙන් පරිගණකයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. වේගය අඩුවෙනවා. ඉඩ ප්‍රමාණය අසාමාන්‍ය විදියට අඩුවෙනවා. සමහර දත්ත මැකීයෑම වගේම ක්‍රියාත්මක නොවීමත් සිදුවෙනවා.

ප්‍රති වයිරස් මෘදුකාංගයකින් එවැනි දුෂ්කරතා බොහෝ දුරට වළකා ගත හැකියි. ඒත් එවැනි මෘදුකාංග ලබාගැනීම පහසු නැහැ. අන්තර්ජාලය හරහා මිලදී ගතයුතුයි නැතිනම් විවිධ නම් යටතේ වෙළෙඳපොළෙන් මිලට ගත යුතුය.
ඒත් ඒ හැම එකක්ම තියෙන්නෙ ඉංගී්‍රසි භාෂාවෙන්. සිංහල විතරක් දන්න ගම්බද දරුවන්ට ඒක තේරුම් ගන්න බැහැ. ඒ නිසා ඒකෙ ප්‍රයෝජනය මදියි.

ඊඉ චදබඪ-මඪපභඵ නපධ කියල නම් කරල තියන තිසර සඳරුවන්ගෙ නව මෘදුකාංගය ඒකට විසඳුමක්. ඒකෙ සියලු උපදෙස් තියෙන්නෙ සරල සිංහලෙන්. අන්තර්ජාලයෙන් ලබාගෙන, මේ වෙද්දි කොරියාව, මැද පෙරදිග, ඇමෙරිකාව වගේ රටවල ඉන්න සිංහල අය මගේ වයිරස් ගාඩ් එක ප්‍රයෝජනයට ගන්නවා. මට ඒක ලොකු සතුටක්. මම සමහර අය එක්ක අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙනවා.

මේ වයිරස් ගාඩ් එකෙ ලෝකෙ භාවිත වන සියලු මේ වර්ගයේ ප්‍රති වයිරස් මෘදුකාංගවල තියෙන ගුණාංග අඩුවක් නැතිව තියෙනවා.

පරිගණකයට වයිරස් ගාඩ් එකක් යොදා තිබුණොත් වයිරස් පැතිරයෑම වළකා ගන්න පුළුවන් වගේම අලුතින් ඇතුළුවීම පාලනය කර ගන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම ගොනුවක් තුළ වයිරසයක් තිබේද කියා දැනගන්න පුළුවන්. ඒත් අද වෙළෙඳපළේ තිබෙන ඇන්ටි වයිරස් මෘදුකාංග උපදෙස් දෙන්නෙ ඉංගී්‍රසි භාෂාවෙන් නිසා ආධුනිකයො බොහෝ දෙනෙක්ට ඒවා තේරුම් ගන්න බැහැ.

"ඒත් මේ නිර්මාණයේ උපදෙස් සිංහල භාෂාවෙන් ලියැවී තිබෙන නිසා සරලව තේරුම් ගත හැකියි. ඒකයි මේකෙ වැදගත්කම. මම අත්හදා බැලීමක් විදියටයි මේක කළේ. ඒත් දැන් වෙද්දි ඒකෙ සාර්ථකත්වය මට දැනෙනවා."
"මේ සඳහා ප්‍රමිතිගත කිරීමක් ඒ වගේම බුද්ධිමත් දේපළක් විදියට ලියාපදිංචි කිරීමක් කරන්න සූදානමක් නැද්ද?"

"මට ඒ ගැන තිබෙන දැනුම එතරම් විශාල නැහැ. ඒ නිසා මගේ මේ නිර්මාණය බලන කවුරුහරි මට ඒ අවශ්‍යතා ඉටුකර ගන්නෙ කොහොමද කියල කියනව නම් ඒක මා වෙනුවෙන් කරන ලොකු උදව්වක්."
මේ නිර්මාණය වැඩි දියුණු කරන්න සූදානමක් තියනවද කියලා ඇහුව ප්‍රශ්නයට එයාට උත්තරයක් දීගන්න බැරිවුණා.

"වැඩිදියුණු කරගන්න නෙමෙයි මට විදුහල්පතිතුමාගෙ උදව්ව නොතිබුණා නම් පරිගණකයක් හෝ අන්තර්ජාලයක් භාවිත කරන්න ලැබෙන්නෙ නැහැ."

මගේ ගෙදර ඒ පහසුකම් නැහැ. ලැප්ටොප් එකක් භාවිත කරන්නෙ ගෙදර පරිගණකයක් භාවිත කරන්න තරම් පහසුකම් නැති නිසයි.

කවුරු හරි වගකිවයුත්තෙක් මගේ මේ නිර්මාණය අගය කරලා යමක් කරනව නම්, මට විතරක් නොවෙයි රටටම ලොකු සේවයක් වෙයි කියල මම හිතනවා.

මගේ නිර්මාණ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟිනුත් පරීක්ෂාවට ලක්කරල තියෙනවා. ඒ වගේම පාසල් මට්ටමේ සහසක් නිපැයුම් ඇගයීම් යටතේත් කතාබහට ලක්වෙලා තියෙනවා.
"ඒත් තවම නිශ්චිතව මේ ගැන වැඩ පිළිවෙළක් යෙදුනේ නැහැ. ඉදිරියේදී එසේ වෙතැයි කියා මම බලාපොරොත්තු වෙනවා" යැයි කියමින් කතාව නිම කළේ බලාපොරොත්තුවේ දෑසට කඳුළු බිඳුද එකතු කරගෙනයි.

ධර්මප්‍රිය ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon