එක පෙළට මිනිසුන් මැරී වැටෙන ගම්මානයක දුක් ගින්දර කතාව

  👤  3365 readers have read this article !
By mawbima 2018-09-23

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාමල්පුර, මෛත්‍රිගම, මහරඹෑව, හල්මිල්ලවැව ආදී ගම්මානවල ජනතාව මේ දිනවල උග්‍ර ජල හිඟයකට හා ආහාර හිඟයකට මුහුණ පා සිටිති.

මෙම ගම්මානයේ පවතින තත්ත්වය සොයා බලා ඒම සඳහා එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබුණේ ඇළ, ‍ෙදාළ, ගංගා, වැව්, අමුණු සියල්ල සිඳී ගොස් ගහ කොළ වියළී ගොස් ඇති ආකාරයයි. ඇතැම් වැව්වල පවතින ඉතා කුඩා දිය කඩිතිවලින් පවා ජනතාවට දිය නා ගැනීමට වන තත්ත්වයකි. පවුල් සියයකට පමණ පවතින නළ ළි¼දකින් ඔවුහු සියලු ජල අවශ්‍යතා සපුරාගනු ලබන්නේ අලුයම් කාලයේ සිට රාත්‍රි කාලය දක්වා දැඩි වෙහෙසක් දරමින්ය. මෙම ගම්මානය පිළිබඳව හොරිවිල පාරම්පරික කැඩුම් බිඳුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතාගේ දැනුම්දීම මත අප එම ගමට පියනැඟුවෙමු.

ශාන්ත සෙනෙවිරත්න හොරිවිල වෙද මහතා කියා සිටියේ මෙම ප්‍රදේශයේ ජනතාව කාලයක සිටම දැඩි ජල අර්බුදයකට මුහුණ පා සිටියද මෙතෙක් කිසිදු බලධාරියකුගේ නිසි අවධානයක් යොමු වී නොමැති බවත්ය. පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දෙන පානීය ජල ප්‍රමාණය නිසාවෙන් මේ දිනවල ඔවුන්ට ජීවිතය ගැට ගසා ගැනීම පවා අති දුෂ්කර වූවක් වී ඇත.

කෘෂිකර්මාන්තය මෙන්ම කිරි ගව පාලනයෙන් ජීවත් වන මෙම ජනතාවට හරකුන්ට බීමට ජල බිඳක්වත් දී ගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටින බැව් පෙනෙන්නට ඇත. එමෙන්ම සිඳී ගිය වැව්වල වළවල් හාරා මෙම ජනතාව දිය නෑමටත් සතුන්ට බීමට ජලය ලබා දීමටත් පෙලඹී ඇත.

මෙහි ජනතාව වැව් පතුල සිඳී ගිය මහ පොළොව පැළී ඇති ප්‍රදේශ පෙන්වමින් කියා සිටින්නේ දේශපාලකයන්ට වාඩි වීමට සුව පහසු පුටු ගෙනෙන්නට ලක්ෂ ගණනින් අත දිගහැර වියදම් කරන්නට රජයේ මුදල් යෙදවුවත් මේ ප්‍රදේශවල ජනතාවට වැසිකිළි යෑමටද දිය සොයා යන්නට වී ඇති බවය.

ප්‍රදේශයේ ජනතාව පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට වියළි සහනාධාර හෝ පානීය ජල ව්‍යපෘතියක් හෝ අඩුම තරමේ දිය නෑමට සඳහා හුරුළුවැව ජලාශයට ගමන් කිරීම සඳහා ප්‍රවාහන පහසුකමක් හෝ ලබාදීමට බලධාරීන් කටයුතු කරන්නේ නම් මැනවි යැයි ප්‍රදේශවාසීහු කීහ.

වසර ගණනාවක සිට වර්ෂාවක් නොමැතිකමෙන් ගොවිතැන් බත් අහිමිව, දැඩි ආහාර අර්බුදයක් පවතින බව ඔවුහු පවසති. එමෙන්ම තම ප්‍රදේශයේ කිසිදු දේශපාලන බලධාරියකු මෙම දුක සොයා බැලීම සඳහා නොපැමිණි බවටද චෝදනා කරති.

සිඳී ගිය වැව්වල ඉතිරිවී ඇති කොළ පැහැ ගැන්වී ඇති ජලය ඇතැම් හරකුන් නොබී පිටව යන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. කෙසේ වෙතත් මෙම ජලය නොමැතිකම සහ සතුන්ට තණකොළ නොමැතිකම නිසා කිරි ගැනීම පවා අතහැර දමා ඇතැයි ගොවීහු පවසති.

තම ගම්මානයේ ජනතාව විඳින දුක පිළිබඳව ප්‍රදේශවාසීහු කීපදෙනකු අප සමඟ මෙසේ පැවැසූහ.

පාරම්පරික හොරිවිල වෙදගෙදර වෛද්‍යාචාර්ය ශාන්ත සෙනෙවිරත්න මහතා,
"මේ ගම්මානවල ජනතාවට වසර ගණනාවක ඉ¼දලා හරි හමන් ගොවිතැනක් නෑ. හැමදාමත් අහස් දියෙන් වගා කෙරුණු අය දැන් ජීවත් වෙන්නේ ගොඩක් අමාරුවෙන්. මේ අයට පානීය ජලය ලබා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. දිය නා ගන්න, ආහාර පිසින්න, හරකුන්ට වතුර ටිකක් බොන්න නෑ. වතුර විකුණන අය මේ ප්‍රදේශයට එනවා. ලීටරයක් රු. 3.00ට තමයි විකුණන්නේ.

වතුර ගන්නත් මේ අයට සල්ලි නෑ. කුලියක් මලියක් ගොවිතැනක් බතක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ."

"මුළු ගමේ කුඩා දරුවන්, වැඩිහිටියන් බොහෝ දෙනෙක්ම රෝගීන් බවට පත් වෙලා. මොකද ඒ තරම් නියඟය දරුණු අතට පත්වෙලා. බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමයි මම මේ බව මාධ්‍යවේදීන්ට කියන්න තීරණය කළේ."

නාමල්පුර ප්‍රදේශයේ පදිංචි සමාජ සේවකයකු වන ඩබ්ලිව්.එම්. කරුණාදාස මහතා,
"මේ ගම්මානවල ජනතාවට වෙනම ජල පද්ධතියක් නැහැ. අහස් දියෙන් එකතුවෙන වතුරෙන් තමයි වගා කරන්නේ. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනා හේන් ගොවිතැන තමයි කරන්නේ. වසර ගණනාවක ඉඳලා මේ අයට කිසිම ගොවිතැනක් නෑ. ඒ නිසා හැමෝම උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීලා තියෙන්නේ. නාමල්පුර, මෛත්‍රීගම වගේම හල්මිල්ලෑව, මහරඹෑව ආදී ගම්මාන රැසක් මේ තත්ත්වයට පත්වෙලා. අපේ ගමේ බොහෝ දෙනෙක් දිය නාන්න යන්නේ වැව්වල ළිං කපාගෙන. හරකුන්ට බොන්න වතුර ටිකක් නෑ. මිනිස්සු නාන්නේ දවස් හතරකට පහකට සැරයක්. ඒ ගෙවල්වල අසනීප වෙලා එක්තැන් වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට දිය පොදක් නාන්න නැහැ. ඒ අය ගෙදරට ගේන වතුර පොදකින් ඇඟ සෝදලා තමයි තියාගෙන ඉන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. හැබැයි කිසිම බලධාරියෙක් අපේ ගම්මානයට ඇවිල්ලා හොයලා බලන්නේ නෑ.

අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වත් අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේක පාර දිගේ ගියාට මිනිසුන්ට තේරෙන්නේ නෑ. අපි කියන්නේ ගෙවල්වල ඇවිල්ලා බත් මුට්ටි ඇරලා බලන්න, ඇත්තටම මේ මිනිස්සු දවසට එක වේලක්වත් කනවද කියලා. සමහර ගෙවල්වල දවසට එක වේලක් කන්නෙත් නෑ. දවස් දෙකකට සැරයක් තමයි එක වේලක් කන්නේ. ගහක ගෙඩියක් කන්න නෑ. අඩුම තරමේ මැල්ලුමක් කන්න කොළයක්වත් නෑ."

එමෙන්ම මෙම ගම්මානයේ ජීවත්වන පී.එන්. ජයසුන්දර මහතා,
"මේ ගම්මානවල ජනතාව විඳින දුක ගැන කොහොම කියන්නද කාට කියන්නද කියලා අපිට තේරෙන්නේ නෑ. හරිම ප්‍රශ්නෙකට තමයි අපි මූණ දීලා ඉන්නේ. අපේ ගමේ වැඩිහිටියෝ මේ වන විට පහළොවකට වැඩිය මියැදිලා තියෙනවා. හරියටම දවස් 21ක් ගත වෙනකොට එක්කෙනෙක් මැරෙනවා. එක්කෙනෙක් මැරිලා ඊළඟ දවස් 21 වෙනකොට අනිත් එක්කෙනා මැරෙනවා. මෙහෙම මැරෙන්නේ අවුරුදු 70කට වැඩි අය. අපිට හිතාගන්න බෑ ඇයි එහෙම වෙන්නේ කියලා. දැන් අවුරුද්දක ඉ¼දලා මේ තත්ත්වය ගමේ පවතිනවා. හැබැයි කවුරුත් හොයලා බලන්නෙත් නෑ. ගමේ අපි ගම්භාර දෙවියන්ගේ දේව කන්නලව්ව අවුරුද්දක් පාසා කරගෙන යනවා. ඒක දැන් අවුරුදු දෙකක් විතර කරන්න බැරි වුණා. මොකද ගමේ අයට ගොවිතැනක් හරි නැති හින්දා. ඒ දවස්වල මේ දේව කන්නලව්වට සම්බන්ධ වෙන වැඩිහිටියෝ තමයි දැන් හිටපු ගමන් මැරෙන්නේ. මොනවා වෙලාද කියාලා අපිට තේරෙන්නේ නෑ."

"වතුර ටිකක් බොන්න ගෙනැත් දුන්නට ප්‍රමාණවත් වෙන්නේ නෑ. අඩුම තරමේ මේ අයගේ කුසට අහරක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. බොහෝ දෙනෙක් අපේ ගමේ මේ අඩුපාඩු හොයන්න එන්නේ නෑ. මරණාධාර සමිතියේ දැන් සල්ලි ඉවර වෙලා කෙනෙක් මැරුණහම දැන් අවට ගම්මානවලට ගිහිල්ලා සම්මාදම්න් කරලා තමයි වළ දාන්නේ. ඒ තත්ත්වෙටම අපි පත්වුණා."
එච්.බී. ජයතිලක මහතා,

"අඩුම තරමේ හරකෙකුට බොන්න වතුර ටිකක් නැහැ. මිනිස්සු එක දවසක් නෑවොත් දවස් ගාණක් නාන්නේ නෑ. ගමේ තියෙන ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ. මම හිතන්නේ අපේ ගමේ අය මැරෙන්නේ දේව ශාපයකින් කියලා. මොකද දේව ශාපේ මුළු රටටම වැදිලා කියලා තමයි හිතෙන්නේ."

දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon