සොඳුරිය බේරාගන්න සටන්කොට මියැදුණු හස්තිරාජයාගේ සිරුර සිඹිමින් අලි රැළ කඳුළු සලති

  👤  3432 readers have read this article !
By mawbima 2018-09-23

කලාවැව වනෝද්‍යානයේ විසූ අලි රංචුවකට නායකත්වය ලබා දුන් සද්දන්තයකු ඇතකුගේ පහරකෑමට ලක්වී මියයෑමත්, ඉන් පසුව උෟට සිය රැළේ අවසන් ගෞරව හිමිවූ ආකාරය පිළිබඳව හද සසල කළ පුවත ඉකුත් සතියේදී අපට අසන්නට ලැබිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ඇති සුවිසල් ජලාශයක් වූ කලාවැවට යාබදව පිහිටි මහ වනය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික වනෝද්‍යානයක් ලෙස ගැසට් කොට තිබේ. මෙම වනෝද්‍යානයේ ඇති විශේෂත්වය වන්නේ අලි - ඇතුන් විශාල සංඛ්‍යාවකට එය නිජභූමියක් වීමයි. එමෙන්ම කලාවැව අලි ඇතුන්ගේ විශේෂත්වය වන්නේ අනෙකුත් ප්‍රදේශවල අලින්ට වඩා උස් හා ඍජු දේහකායකට හිමිකම් කීමය. කලාවැව වනෝද්‍යානය සහ ඒ අවට සිටින අලි - ඇතුන් සංඛ්‍යාව තුන්සීයක් පමණ වන බව ගණන් බලා තිබේ. එකිනෙකට වෙන්ව සිටින රංචු හතරක් ලෙසින් උන් ජීවත් වේ.

අපේ ගෙදරක දරු පැටවුන් ටික බලා ගනිමින් ඔවුන්ව මෙහෙයවන්නේ මවය. පියා නිතර නිවෙසේ නොරැඳුණත් අවශ්‍ය ආරක්‍ෂාව සහ රැකවරණය ලබාදේ. තාත්තා යහපත් තාත්තා කෙනකු නම් මවගේත් දරුවන්ගේත් ඔහුට ඇති සෙනෙහස හා බැඳීම වැඩිය. වල් අලින්ටද මේ ධර්මතාව පොදුවේ.

අලි රංචුවක් යනු ඇතින්නක හා ඇගේ ගැහැනු, පිරිමි පැටවුන් ලෙසින් එකතු වන කුඩා කණ්ඩායම් රැසක එකතුවකි. එකම රංචුවක සිටින කණ්ඩායම් සියල්ලේම ඉන්නේ සමීප ලේ ඥාතීන් බවද සඳහන් කළ යුතුය. මෙම සමාජය තුළ තීන්දු තීරණ ගත හැකි වැඩිහිටි මවු ඇතින්නක විසින් රංචුව මෙහෙයවනු ලබයි. තාත්තලා රංචුව තුළ නිතර නොසිටියද අවට රැඳී සිටිමින් රැකවරණය ලබාදේ. අලි තාත්තලා ටිකක් වැඩියෙන් ඇවිදීමට කැමැත්තක් දක්වති.

සමහර වැඩිහිටි පිරිමි අලි තමන්ගේ රංචුවට ආසන්නව ගැවසෙමින් සිටියද තවත් සමහර පිරිමි සත්තු ඉබාගාතේ ඇවිදිති. වෙනත් රංචුවලටද ඉව අල්ලමින් අයාලේ යති. එවැනි අලි තාත්තලාට නම් හොඳ අලි තාත්තලා යැයි කිව නොහැකිය.

කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටින අසූවක් පමණ වූ එක් අලි රංචුවකට නායකත්වය දුන්නේ වලිග කොටා නමින් හැඳින්වෙන වයස අවුරුදු හතළිහක් පමණ වූ ශක්තිමත් සද්දන්තයෙකි. යහපත් ගුණයෙන් මෙන්ම පිරිපුන් ජවයෙන්ද යුක්ත වූ මෙම අලියාට රංචුවට සම්බන්ධ අනෙකුත් අලි තාත්තලා අතරද මුල් තැන හිමි විය. මේ අලි තාත්තලා විවිධ අවස්ථාවලදී තම රංචුවට එකතු වන්නේ සිය පැටවුන් ගැනද සොයා බලා අලි අම්මලාට ආදරය කරන්නටය. අලි ඇතුන් ඇතින්නකට (කෙණරකට) ආදරය කරන්නේ ඇය ලිංගිකව සක්‍රිය වන සමයේදීය.

අපේ රටේ දළ දැරීමේ වාසනාව හිමිවන්නේ වැඩුණු පිරිමි අලින්ගෙන් සියයකට පහකට වැනි ප්‍රතිශතයකටය. ඇතැම් ඇතුන්ගේ දළ බිමට යොමු වන ලෙස සිරස්ව පිහිටා ඇත. තවත් සමහර ඇතුන්ගේ දළ තිරස්ව ඉදිරියට නෙරා පිහිටයි. ඉදිරියට හෝ පහතට නෙරා ගොස් පසුව එකිනෙක ළංවී පූට්ටු වූ දළ දරන ඇතුන්ද සිටී.

දළ යනු ඇතකුට ආරක්‍ෂාව සලසා දෙන සතුරන්ට පහර දිය හැකි ආයුධයකි. තිරස්ව ඉදිරියට නෙරා යන ලෙස දළ දරන ඇතුන් භයානක සටන්කරුවන් බව පැවැසිය යුතුය.

ලිංගිකව එක්වීම සඳහා අලි දෙදෙනකුගේ සිත් එක් ඇතින්නක් කෙරෙහි යොමුවූ විට එම සතුන් දෙදෙනා අතර ගැටීමක් ඇතිවේ. එවැනි අවස්ථාවලදී අලි දෙදෙනෙක් සටන් කරන විට දුබලයා පැරැදී පලා යයි. එකෙකු මියයන්නේ කලාතුරකිනි. ඇතුන් දෙදෙනකු සටන් කරන විට එකෙකුට මාරාන්තික තුවාල හෝ මරණය සිදුවිය හැකිය. මෙහිදී සටනකට සුදුසු ලෙසින් දළ දරන්නාට ජය අත්වේ.
අලියකු, ඇතෙකු සමඟ සටනට පිවිසෙන්නේ නැත. හේතුව තමන්ට නියත මරණය අත්වන බව අලියා හොඳින්ම දන්නා නිසාය. නමුත් ඉතා කලාතුරකින් ඇතැම් නිර්භීත අලි යුක්තිය හෝ ආත්මාභිමානය වෙනුවෙන් තමන්ට ස්ථිර මරණය අත්වන බව දැන දැනත් ඇතුන් සමඟ සටනට එළැඹෙති.
දෙවැනි දීගජන්තු යනු කලාවැව වනෝද්‍යානයේ තැන තැන ඇවිදින රස්තියාදුකාර ඇතෙකි. වයස අවුරුදු තිහක් පමණ වූ උෟ හොඳ තරුණ වයසේ පසුවේ. දළ තිරස්ව ඉදිරියට නෙරා පිහිටා ඇත. මේ ආකාරයට දළ පිහිටා ඇති ඇතකු සමඟ සටන් කිරීම තවත් ඇතකුට පවා අපහසු කටයුත්තකි.
කලාවැව ප්‍රදේශයේ මේ ආකාරයට දළ දරන උගේ දේහ හැඩරුවට ඉඳුරාම සමාන තවත් වැඩිහිටි ඇතකු සිටී. දීගජන්තු ලෙසින් මුලින්ම හඳුන්වන ලද්දේ උෟවය. පසුව කරළියට පැමිණි දීගජන්තුට සමාන නමුත් වයසින් බාල ඇතාව දෙවැනි දීගජන්තු ලෙසින් නම් කෙරිණි.

දෙවැනි දීගජන්තු රස්තියාදුකාරයෙක් පමණක් නොව අණක් ගුණක්ද නැති සතෙකි. තරුණ වයසේ පසුවන බැවින්දෝ නාහෙට නාහන වැඩිහිටියන්ට ගරු නොකරන එපමණක්ද නොව දළවල ශක්තිය අවභාවිතයට ගන්නා ඇතෙක් බව පැවැසීම නිවැරැදිය.

රැළෙන් රැළට ගොස් අලි අම්මලාගේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් උන් සමඟ ලිංගිකව එක්වන හෝ අතවර කරන දෙවැනි දීගජන්තුට අලි තාත්තලාද බියක් දක්වති.
වලිගකොටා ලෙසින් හැඳින්වෙන සද්දන්තයා නායකත්වය දෙන අසූවක් පමණ වූ අලි රංචුව මෙහෙයවන්නේ උගේ සහකාරිය මෙන්ම සෙනෙහෙබර පෙම්වතිය වූ හැඩකාර වැඩිහිටි ඇතින්නියකි. ඇයගේ වයසද වලිගකොටාගේ වයසට සමානය. වසර තිස් පහකට හතළිහකට පෙර මේ දෙදෙනා එකම රංචුවේ එකට කෙළිදෙලෙන් කාලය ගත කළ ඥාති සොයුරු සොයුරියන්ය.

තැන තැන යන සල්ලාලයකු වූ දෙවැනි දීගජන්තු මේ දිනවල ලිංගිකව සක්‍රිය වී සිටින වලිගකොටාගේ සහකාරියට අතවර කිරීමට දින කිහිපයක සිටම මාන බලමින් සිට ඇත. නමුත් ඇගේ ආදරය හිමිවන්නේ වලිගකොටාටය. වලිගකොටා ලෙසින් නම් කර ඇත්තේ උගේ වලිගය තරමක් කොට බැවිනි.

සිය රැළ අසලට පැමිණ හොර ගල් අහුලන දෙවැනි දීගජන්තු ගැන වලිගකොටා සිටියේ හොඳ අවධානයකිනි. වලිගකොටාගේ බිරියව මැදිකර ගෙන යමින් රංචුවේ සෙසු ඇතින්නියන් ඇයට විශේෂ ආරක්‍ෂාවක්ද ලබාදී තිබිණි.
දීගජන්තුට තවත් ඉවසා සිටිය නොහැකි විය. උෟ එකවරම රැළට කඩාපැන්නේ බලහත්කාරයෙන් හෝ උගේ කාරිය ඉටුකර ගැනීමටය. කෙතරම් තැන්පත් සද්දන්තයකු වුවද සිය බිරියට කරදර කිරීමට සැරසෙන දීගජන්තුට පහරදීමට වලිගකොට දෙවරක් සිතුවේ නැත.
වලිගකොටා යනු අඩි නවයක් පමණ උස්වූ හොඳින් වැඩුණු ශක්තිවන්තයෙකි. උෟට වඩා අවුරුදු දහයක් පමණ වයස අඩු දෙවැනි දීගජන්තුගේ උස අඩි අටහමාරක් පමණ වේ. උෟද පුෂ්ටිමත්ය. බිහිසුණු දළ යුගලයකට හිමිකම් කියන දීගජන්තු සමඟ වලිගකොටා ජීවිත ආශාවද අත්හරිමින් ද්වන්ධ සටනකට පිවිසෙන්නේ උගේ බිරිය ගැන පමණක් සිතා නොව රැළේ අනෙකුත් ඇතින්නියන්වද බේරා ගැනීමේ අරමුණෙනි.

කැකිරාව පුවක්පිටිය ප්‍රදේශයේ කලාවැව වැව් පිටියේදී දින දෙකකට අධික කාලයක් මෙම සද්දන්තයන් දෙදෙනාගේ සටන තිබී ඇත. මේ ආකාරයේ දළ දරන ඇතකු සහ අලියකු අතර ඇතිවන සටනක් අලියාගේ මරණින් කෙළවර වීමට ගත වන්නේ පැය කිහිපයකි. නමුත් මෙහිදී වලිගකොටා දළ පහර මඟ හරිමින් දීගජන්තුට පහරදී ඇත. වරෙක පසු පසට ගොස් නැවත ක්‍ෂණිකව ඉදිරියට පැන පැති පහර එල්ල කළත් අලියාගේ උත්සාහය එතරම්ම සාර්ථක වී නැත. දිනක් පුරා සිදු කළ සටනින් අනතුරුව ඇතාගේ දළ පහර වැදීමෙන් අලියාගේ බඩ හා පපු ප්‍රදේශයේ ස්ථාන ගණනාවක්ම ගැඹුරට සිදුරු වී රුධිරය වහනය වෙමින් තිබිණි.

දෙතුන් වරක්ම බිම ඇදවැටුණු වලිගකොටා ආයාසයෙන් නැඟී සිටියේ නායකයකුගේ ගුණාංග පෙන්නුම් කරමිනි. දෙවැනි දිනයේදී දීගජන්තු තුවාල ලබා සිටි වලිගකොටාට වඩාත් ආක්‍රමණශීලී ස්වරූපයකින් පහර දුන්නේය. එදින උෟට හිස, ගෙල සහ මුහුණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවිය.

දිවා රෑ නොකා නොබී සිදු කළ සටනේ තුන්වැනි දිනය ආරම්භයේදීම කපා හෙලූ ගසක් මෙන් ඇද වැටුණු අලියා නැවත නැඟිට්ටේ නැත. ඇද වැටුණු සතාට දිගින් දිගටම පාදයෙන් සහ දළවලින් පහර දුන් දෙවැනි දීගජන්තු එතැනින් ඉවත්වූයේ වලිගකොටා මියගිය බව පසක් කර ගැනීමෙන් අනතුරුවය. මෙම සටනේදී දුෂ්ටයා ජයගෙන තිබිණි. මියගිය වලිගකොටා යනු තමන්ගේ රැළ වෙනුවෙන් සටන් කොට දිවිදුන් පනාමුරේ ඇත් රජුගේ පුනරුත්පත්තියක් විය හැකි බව ඇතැම්හු එහිදී පැවැසූහ.

කලාවැව ජාතික වනෝද්‍යානය පාලනය වන්නේ ගල්කිරියාගම වනජීවී කාර්යාලයෙනි. මසුන් මැරීමට වැවට පැමිණි අයකු අලියාගේ මරණය දැක ඒ ගැන වනජීවී කාර්යාලයට දැනුම් දී ඇත.
එම ස්ථානයට ගිය ගල්කිරියාගම වනජීවී නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ අසූවක් පමණ වූ වන අලි රංචුව සිය රැකවරණය වෙනුවෙන් ඉදිරිපත් වී ජීවිතය පූජා කළ නායකයාට අවසන් ගෞරව දක්වන ආකාරයයි. වැඩිහිටි අලි කිහිපදෙනකු දේහය වටා සිටියදී රංචුවේ අනෙක් අලි එකා පසු පස එකා පැමිණ හොඬය ඔසවා ආචාර කරන අයුරුත් ඇතැම් අලි හඬා වැටෙන අයුරුත් දුටු වනජීවී නිලධාරීහු පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. දීර්ඝ සේවා කාලයක් සපුරා ඇති වනජීවී නිලධාරියෙක් මා සමඟ පැවැසුවේ මියගිය අලියෙක් වෙනුවෙන් අනෙකුත් අලි මේ ආකාරයට ගෞරවයක් දැක්වූ බවක් තමන් මින් පෙර අසා හෝ දැක නැති බවයි.
වලිගකොටාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලද වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා දළ පහර වැදීමෙන් සිදුවූ බරපතළ තුවාල විසිහයක් අලියාගේ සිරුර පුරා දක්නට ලැබුණු බව පැවැසීය. මරණ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා වන අලි රංචුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිලධාරීන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.

මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව එම ස්ථානයට නැවත පැමිණි නායක අලියාගේ සහකාරිය වූ ඇතින්න මළසිරුර අසල කඳුළු වගුරවමින් බොහෝ වේලාවක් රැඳී සිට ඇති අතර නිලධාරීන් විසින් ඇයව ඉවත් කොට දේහය වැව් ඉස්මත්තේම මිහිදන් කිරීමට කටයුතු කරන ලදී.
මේ සිදුවීමෙන් අපට ද ඉගෙනගත හැකි පාඩම් බොහෝය. සඳහන් කළ යුතු අනෙක් කරුණ වන්නේ අලි - ඇතුන් ගැන පර්යේෂණ කරන ආචාර්ය මහාචාර්යවරු රැසක් සිටියද එම සතුන්ගේ හැසිරීම්, ගතිගුණ, චර්යා රටාවන් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කිරීමට කිසිවකුට මේ වන තුරුත් හැකි වී නැති වීමයි. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවක් පමණි.

සපුමල් ජයසේන

ඡායාරූප - දඹුල්ල කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon