බාල්දි වැටි වැටී බාල්දු වෙන රුපියලේ අවාසනාවන්ත ඉරණම

  👤  3246 readers have read this article !
By mawbima 2018-09-23

මෙරට රුපියලේ වටිනාකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත අවප්‍රමාණයකට ලක්ව ඇත. සාමාන්‍ය ජනතාව රුපියලේ අගය බාල්දුවීම ගැන නොදනී. ගැටලුව භාණ්ඩ මිල වැඩි වීමය. වෙළෙඳපොළේදී දිනපතා බඩු භාණ්ඩවල මිල ඉහළ නැඟ තිබේ. මාස ගණනකට කලින් වෙළෙන්දා ළඟ තිබුණ දේ පවා ඩොලර් එක වැඩිවෙලා යැයි කියමින් අනිසි මිලට විකුණන අවස්ථා අනාවරණය වෙයි. පාරිභෝගික අධිකාරිය, මිල සූත්‍ර හෝ ජීවන වියදම් පාලන කමිටු බලවත් නිහඬතාවකය. ආර්ථිකය පාලනය කිරීම අතට ගන්නට තරගයට සූදානම් වූ දේශපාලනඥයෝ තරගය අත්හැර දමා තිබේ.

වසර තුනකට කලින් ඇමෙරිකානු ඩොලරයක් රු. 132ක මිල මට්ටමක තිබිණි. පසුගිය බ්‍රහස්පතින්දා සවස් වන විට එය රුපියල් 168 දක්වා පැමිණි බව වෙළෙඳපොළ වාර්තා දක්වයි. අවසාන සතිය තුළ දිනපතා වේගයෙන් අවප්‍රමාණය වීම අසාමාන්‍ය තත්ත්වයක් වූ අතර රට තුළ පවතින විනිමය හිඟය උග්‍ර එකක් බව එයින් පෙන්නුම් කරයි. පසුගිය කාලය තුළ ආණ්ඩුව සිය විදේශ වත්කම් ගැන නිසි අවධානය යොමු කළේ නැත. අපනයන නංවා එහි ආදායම ආනයන වෙනුවෙන් සංචිත කරගැනීම කෙරෙහි උනන්දුවක් නොදැක්වීය. සීමාවකින් තොරව ආනයනවලට නැඹුරු වූ අතර ආනයන සඳහා අවශ්‍ය විනිමය ඉල්ලුම සපුරා ගත නොහැකි වී තිබේ. අධික ඉල්ලුම හෙයින් එහි වටිනාකම වේගයෙන් වර්ධනය වීම නිරීක්ෂණය කළ හැකිය. ආනයනකරුවන්, විදේශ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කරන දරු දැරියන්, අපනයන නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන්නන් සහ යන්ත්‍ර සූත්‍ර ගෙන්වන්නන් ඩොලර් මිල නැඟීම මත බරපතළ තත්ත්වයකට මුහුණ පා සිටී.

ආසන්නතම අවස්ථාව සීනි ආනයනයයි. සීනි ආනයනයේදී අය කරන බද්ද කිලෝවකට රුපියල් දහ අටකින් වැඩි කළේය. මෑත කාලය තුළ විනිමය අනුපාතිකය අවප්‍රමාණය මත මාස දෙකක් තුළ රුපියල් පහළොවක පමණ අවාසියක් සිදුවී තිබේ. එයට අමතරව වැට් බදු සංශෝධනය කළේය. ලෝක වෙළෙ¼දපොළේ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිල අඩු වී ඇති නමුත් රට තුළ සිදු වී ඇති වෙනස්කම් ඉදිරියේදී සීනි ආනයනය අලාභ ලබන ව්‍යාපාරයක් වී ඇත. සීනි තොග මිල කිලෝවක් රුපියල් පහළොවකින් වැඩිකරන බව ආනයනකරුවන් ප්‍රකාශ කර ඇති අතර රජය එයට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කර තිබේ. පාර්ශ්ව දෙක අතර නොහොඳ වැඩිදුර ගියහොත් ආනයනකරුවන් සීනි ගෙන්වීම ප්‍රමාද කරන්නට බැරි නැත. එවැනි අවස්ථා ඉතිහාසයේ වාර්තා වී තිබේ. ආණ්ඩුවට හදිසි මිල දී ගැනීම්වලට යොමු වීමට සිදුවන අතර එවැනි අවස්ථාවක රජයේ යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතා හා අලාභ අවසානයේදී පාරිභෝගිකයන් තවත් අසරණ කරනු නිසැකය. සීනි ආනයනය ආහාර ආනයනයට වැය කරන ධනයෙන් සියයට හතළිහකි. එය රුපියල් බිලියන 280ක් බවත් වාර්තා දක්වයි. කිරි පිටි ආනයනයට රු. බිලියන 48ක් වාර්ෂිකව වියදම් කරයි. මේවායෙහි මිල වැඩිවීම වළක්වා ගැනීමට රටට හැකියාවක් නැත.

විනිමය අනුපාතිකය අනුව මෙරටට ආනයනය කරන සියලු දේ මිල වැඩිවීම වැළැක්විය නොහැකිය. අවුරුද්දකට කලින් තිබුණ මිලට ඩොලර් නැති අවස්ථාවක එහි පරතරය නිරායාසයෙන්ම ආනයන වියදමට එකතු වෙයි. ශ්‍රී ලංකාවට වැඩිම ආනයනය ඉන්ධන බව සඳහන් කළ යුතුය. ආහාර ද්‍රව්‍ය එයට අමතරවය. මෙකී සියලු දේ වෙනුවෙන් අමතර වියදමක් දරන්නට සිදුවෙයි. එය අවසානයේදී පාරිභෝගික ජනතාව වෙත වක්‍රව බැර වන බව දැක්වීම අවශ්‍යය.

2018 වසරේ පළමු මාස හය තුළ රුපියලේ අගය අවප්‍රමාණය සියයට 5.7කි. මෙම මිල මට්ටමට එන විට ආර්ථිකයට එල්ල වන එහි පීඩනය තියුණුය. මෙතැනින් නතර වී නැත. පවතින වේගය අනුව අඛණ්ඩව අවප්‍රමාණය සිදුවුවහොත් සියයට දහ අටක පමණ ප්‍රතිශතයක් විය හැකිය. ආණ්ඩුවේ බලධාරීන්ට එය ප්‍රශ්නයක් නොවේ. එයට හේතුව නිදහස ලැබූ දිනයේ සිට නොබෝදා දක්වා රුපියලේ අගය අවප්‍රමාණය වීම 4367%කි. වසර හැත්තෑවක් තුළ එපමණ අවප්‍රමාණයක් ඉසිලිය හැකි වූ ලාංකිකයන්ට මෑත කාලය තුළ සිදු වූ අවප්‍රමාණය ප්‍රශ්නයක් නැති බව ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. නමුත් පාන් රාත්තල ශත පහකින් වැඩි කිරීම ඉවසා ගත නොහැකි මට්ටමක පසුවන සමාජයකට රුපියලේ අවප්‍රමාණයෙන් සමස්ත වෙළෙඳපොළ ව්‍යුහයම අනෙක් පැත්ත හැරීමෙන් විශාල අර්බුදයක් මතු කරනු ඇත.

විනිමය අනුපාතිකය රුපියලට අවාසි අත්පත් වන සේ අවප්‍රමාණය වෙන්නේ ඇයි? හේතුව රට තුළ ඩොලර් සැපයුම දුර්වල වීමයි. අපනයනයෙන්, සංචාරක ව්‍යාපාරයෙන් හෝ විදේශ රැකියා කරන පිරිස් එවන ධනය මෙරට ආනයනවලට ප්‍රමාණවත් නැත. එය මෑත කාලය තුළ පැහැදිලිව පෙනුණු කාරණයකි. විදේශ වෙළෙ¼දාම තුලිත නොවීමෙන් ඇති වූ ගැටලු මත ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් මතු වූ අතර රටට එයින් ගැලවීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය හෙයින්ය. හම්බන්තොට වරාය සමඟ ආයෝජනයෙන් ලැබුණු විනිමය හා ඉන්දියානු රජය මෙරටට ලබාදී තිබුණු තාවකාලික ණය සංචිතය තවත් ප්‍රයෝජනවත් විය. එමඟින් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන අටක ප්‍රමාණය නොවිණි නම් ශ්‍රී ලංකාව බලවත් දුර්භාග්‍යයකය.

දැන්වත් ආනයන හා අපනයන අතර පාලනයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මැති ඇමැතිවරුන්ගෙන් වාහන ආනයනය හා රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන ආනයනයට නිකුත් කළ බලපත්‍ර මෙරට විදේශ වත්කම් විනාශ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව මෙම වසරේ මුල් මාස හය තුළ වාහන ආනයනය පමණක් කලින් වසරේ සමාන කාලයට වඩා සියයට 121කින් ඉහළ ගොස් තිබේ. අද පවතින විනිමය අනුපාතිකය දුර්වල වීමට වාහන ආනයනයද වගකිව යුතුය.

ආනයනය වියදමට සමාන්තරව අපනයන ආදායම නංවාගත යුතුව තිබිණි. නමුත් පසුගිය වසරේ අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4ක් උපයන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක ආනයන කර තිබේ. අපනයන වෙළෙදාම වැඩිකරන්නට කිසිම පියවරක් නොගත් ආණ්ඩුව සැප පහසු වාහනවල උජාරුවෙන් ගමන් කරන අතර එහි විපාක වශයෙන් සීනි, පරිප්පු හා ඛනිජ තෙල් වැනි දේවලින් ජනතාව වන්දි ගෙවමින් සිටිති. අභාග්‍යය එයයි.

වසර 2020 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 22ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව ඉලක්ක කර තිබේ. නමුත් අපනයන ආදායම දෙගුණයක් කර ගැනීම උදෙසා විකුණන්නේ මොනවාද? එය එසේ තිබියදී මෙරට වාණිජ අංශ පෙන්වා දෙන කරුණක්ද අවධානයට ගත යුතුය. මෙම ඉලක්කයට ගමන් කළහොත් වසර 2022 වන විට ශ්‍රී ලංකාවේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 28 ඉක්මවනු ඇත. ආනයන හා අපනයන අතර පරතරය පියවන අවකාශයක් මෙයින් පෙන්වන්නේ නැත.

විදේශ ණය ගෙවීමට හා ආනයනයට විනිමය හිඟ වන විට තව තවත් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හා සංවිධානවලින් වාණිජ ණය ගනිමින් සිටී. මේවා පාලනය කළ යුතුය. රට තුළ නිෂ්පාදනයක් රහිතව ණය ගත් ලෝකයේ නොයෙක් රටවල් ආර්ථික බංකොලොත් භාවයට පත් වූ අවස්ථා මෑත කාලය තුළ තිබේ. ණය අර්බුදය හා විදේශ සම්පත් පිරිහීම මත දේශපාලන අර්බුදවලට පවා ගොදුරු වූහ. ශ්‍රී ලංකාව තද මූල්‍ය පාලනයක් අනුගමනය කළ යුතු අවධියක පසුවෙයි. ආනයන අඩු කරන්නට අවශ්‍යය. මෙරට වැවිය හැකි දේ ආනයනය පාලනයක් අවශ්‍යයි. කවර හෝ නිෂ්පාදනයක් විකුණා විදේශ විනිමය උපයා ගැනීමට අවධානය යොමු කිරීම වැදගත්ය. ඍජු විදේශ ආයෝජන, සංචාරක ආදායම හෝ කොටස් වෙළෙඳපොළ මඟින් විදේශ වත්කම් උපයා ගැනීමට හැකිවන කෙටි හා ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් අනතුර තවත් දරුණුය. අවාසනාවකට මෙන් මෙරට ආර්ථික ප්‍රතිපත්ති ආයෝජනයට හෝ කොටස් වෙළෙඳපොළ කෙරෙහි වාසි ඇති නොකරයි. ඒවාද දිනෙන් දින පිරිහෙමින් තිබේ. රුපියල කෙරෙහි අවප්‍රමාණය රටේ ආර්ථිකය පිරිහීම පෙන්වන එක මර්ස්ථානයකි. එයින් ගැලවීමට හැකි සාධාරණ අවස්ථා වහා සමලෝචනය කිරීමට ආණ්ඩුව තීරණය කළ යුතුය.

ශාමින්ද වත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon