එදා නුවර බාරව සිටි නි. පොලිස්පති පූජිත් ජයසුන්දරට ත්‍රිත්ව විද්‍යාලයෙන් මිලියන 12ක් දුන්නේ ඇයි?

  👤  3967 readers have read this article !
By mawbima 2018-09-23

නිශාන්ත ප්‍රියලාල් ද අල්විස් මහතා වෘත්තියෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරවල නියැළෙන අයෙක්. 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් පසු නිවාස ඉදිකිරීම සඳහා ව්‍යාපෘති රැසක් 2005 වසරේදී නිශාන්ත මහතාට ලැබෙයි. අම්පාර කොක්අඩිචෝලේ සුනාමි නිවාස රැසක් ඉදිකිරීමට ලැබෙන්නේ රාජ්‍ය ව්‍යාපෘතියක් ලෙසය. නිවාස 4000ක් පමණ ඉදිකිරීමට සිදුවන්නේ එල්ටීටීඊ සාමාජිකයන්ගේ ගම්මානවලය.

එකල එම ප්‍රදේශයේ මාර්ගය පමණක් හමුදාව ආවරණය කර තිබුණි. සෙසු ප්‍රදේශවල බලය තිබුණේ එල්ටීටීඊයටය.

එල්ටීටීඊ සාමාජිකයන් දිවා කාලයේදීද තුවක්කු අතැතිව එහා මෙහා ගමන් කළේද කිසිදු බියකින් තොරවය.

නිශාන්ත මහතාගේ නැඟෙනහිර පළාතේ නිවාස ව්‍යාපෘතියේ සේවකයෝ 300-400ක් පමණ සිටියහ. ඉන් පෙදරේරුවරු දකුණේ අය වූහ. ඉන් සියලු දෙනාගෙන් වැඩි හරිය එම ප්‍රදේශවලම පදිංචි අය වූහ.

මේ විදියට නිවාස ව්‍යාපෘතිය සිදුවන කාලයේ විදේශිකයකු වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ එවකට සිටි විදුහල්පති රොඩ් ගිල්බට් සෑම සිකුරාදා දිනකම නැඟෙනහිර පළාතේ සංචාරය කරනු ත්‍රිත්ව විද්‍යාලයේම ආදි සිසුවකු වූ නිශාන්ත මහතා දැක තිබිණි. කාර්තිවු, කොක්අඩිචෝලේ සහ සයන්ත මඩු, කල්මුණේ, ත්‍රිකුණාමලය, ප්‍රදේශවලදී කිහිප අවස්ථාවක්ම ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති මෙලෙස දැක තිබිණි. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දින තුනම ඉහත ප්‍රදේශවලදී සෑම සති අන්තයකම පාහේ ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා සැරි සැරීම ගැන නිශාන්ත මහතාට සැක සිතුණි.

මේ පිළිබඳව සොයා බැලීමේදී වාර්තා වූයේ ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සුනාමියෙන් අවතැන් වූ ගම්මානවලට නිවාස සාදා දීමේ මුවාවෙන් මේ සංචාරය කර තිබූ බවයි. මීට අමතරව එම ප්‍රදේශයට පාසලක් ඉදිකිරීමටද සැලසුම් වී තිබිණි.

ඒ වන විට නින්දුර්වල එම පාසල පටන්ගෙන තිබිණි. පාසල ඉදිකරන ආකාරය සහ නිවාස සෑදීමට අවශ්‍ය පසුබිම සෙවීමේ මුවාවෙන් මේ සංචාරය සිදු වුවත් ඒ යට සැඟවුණු රහසක් තිබිණි.

ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයා නැඟෙනහිර පළාතේ සංචාරය කරන දිනවලට ඔහුගේ වාහනය පදවා තිබුණේ පාසලේ දී එම රථය පදවන රියැදුරා නොවේ. පසුව අනාවරණය වූ අකාරයට වාහනය පැදවූයේ සුරේෂ් නමැති එල්ටීටීඊ සාමාජිකයෙකි. සුරේෂ් යනු සෙල්ලක්කාර චරිතයකි. සුරේෂ් යනු එල්ටීටීඊ පිස්තෝල කල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකි. සුරේෂ්ගේ අක්කා ද එල්ටීටීඊයේ යාවජීව සාමාජිකාවකි.

රාජ්‍ය නොවන සංවිධාන හරහා සුනාමි නිවාස තනා දුන්නේ එල්ටීටීඊ සාමාජිකයන්ටය. ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ සුරේෂ් අතර පැවැති සබඳතාව ගැන නිශාන්ත ද අල්විස් මහතාට සැක සිතුණි. එල්ටීටීඊ සාමාජිකයකු ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාගේ රියැදුරා වන්නේ කෙසේදැයි ඔහු සොයන්නට විය.

ඉන්පසු නිශාන්ත මහතා සිය පියාට මේ බව දැනුම් දුන්නේය. නිශාන්ත මහතාගේ පියා නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකි. සිය පියාගේ හිතවතකු වූ බි්‍රගේඩියර් අබේ හුලංගමුව හරහා මේ තොරතුරු සොයන්නට විය. ඉන් පසු බි්‍රගේඩියර් වරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ බව දැනුම් දීමට හැකිවිය.
ඉන් පසු සෑම සතියකට වරක්ම ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ගැන වාර්තාවක් ආරක්ෂක ලේකම්වරයාට ලැබිණි. මේ කාර්යය කළ යුත්තේ බොහොම රහසිගතවය. ආරක්ෂා සහිතවය. මේ කාර්යයේදී බි්‍රගේඩියර් අබේ හුලංගමුව ඊට සහාය දැක්වීය.
ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නැඟෙනහිර පළාතේ සැරිසරන ප්‍රදේශ, හමුවන පුද්ගලයන් ගැන රහසිගතව තොරතුරු රැස් කෙරුණි. මේ සඳහා නිශාන්ත මහතාගේ හිතවත් සේවකයන් තිදෙනකු යොදවා තිබිණි.
මේ කාර්යය එලෙස සිදුවෙද්දී කවුරුත් නොසිතන රහස් තොරතුරක් නිශාන්ත මහතාට ලැබිණි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට එන අවස්ථාවේදී ත්‍රිත්ව විද්‍යාලයේ සිට ජනාධිපති මන්දිරයට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව එම රහසිගත තොරතුරින් කියැවුණි. ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ නිල නිවෙසේ සිට මහනුවර ජනාධිපති මන්දිරයේ ආලින්දය හොඳට පෙනෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වාහනයට නැඟීමට එන අවස්ථාවේ ස්නයිපර් වෙඩික්කරුවන් හරහා එතුමාව ඝාතනය කිරීමට එම සැලසුම අනුව කතාබහ කර තිබිණි.

සිය ගෝලයකු හරහා තොරතුරු ලැබුණත් එම පණිවුඩය කොළඹට ලබාදීමට නොහැකි විය. ඒ එම ප්‍රදේශයේදී දුරකථන ඇමතුම් ගැනීම තහනම් විය. ඔත්තුව ලැබුණු පසු එම තොරතුරු කොළඹට ලබාදීම ඉක්මනින් කළ යුතුවිය. දුරකථන ඇමතුමක් ලබාදෙන්නේ නම් ඒ සඳහා ස්ථාන වෙන් කර තිබිණි. නිශාන්ත මහතාට මෙම ඔත්තුව ලැබෙන විට වේලාව මැදියම් රෑ 12.30ට පමණ ඇත. දුරකථන භාවිත කිරීමට අවසර ලැබී තිබුණේ කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් වාසය කළ ප්‍රදේශයට පමණි.

එම ප්‍රදේශයට එල්ටීටීඊය ආවේ නැත. ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන් එදා සිය ආරක්ෂාව පිණිස තුවක්කු භාවිත කිරීම ඊට හේතු විය. එසේම එම ප්‍රදේශය පොලිසිය හා හමුදාවේ දැඩි ආරක්ෂාවට නතු වූ ප්‍රදේශයකි.
එම ප්‍රදේශයට පාන්දර ජාමේ වාහනයකින් ගමන් කිරීම එල්ටීටීඊ සාමාජිකයන්ගේ සැකයට තුඩු දෙන කරුණකි. මේ නිසා නිශාන්ත මහතා සිය ගෝලයකුට අසනීප යැයි කියා කල්මුණේ අෂ්රොෆ් රෝහලට රැගෙන යෑමට ගෙන යන ලෙස කල්මුණේට ඒමට පාර විවර කර ගත්තේය.

කල්මුණේ රෝහලට පැමිණ මේ සියලු තොරතුරු සිය පියා හරහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට නිශාන්ත මහතාට හැකි විය. ඒ වන විට වේලාව පාන්දර 2.00 - 2.30ට පමණ වන්නට ඇත.
නිශාන්ත මහතා ළඟ සේවය කළ සිංහල පෙදෙරේරු අයට දෙමළ භාෂාවද කතා කිරීමේ හැකියාව තිබිණි. මේ හැකියාව නිසා ඔවුන්ට එල්ටීටීඊ සාමාජිකයන්ගේ කතා බහට කන්දීමට හැකිවිය. යුද්ධය පැවැති සමයක එල්ටීටීඊයේ ආධිපත්‍ය පතුරා තිබූ නැඟෙනහිර පළාතින් මෙවැනි ඔත්තුවක් ලබා ගැනීම එතරම් පහසු නැත. ඇත්තෙන්ම මෙය චිත්‍රපටයකි. දෙමළෙන් කතා කළ හැකි නිසා දෙමළ ජනයා අතරට යෑමෙන් මෙම තොරතුරු ලැබිණි.

එම තොරතුරු ලැබුණ විගස එදින පාන්දරම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ආරක්ෂක අංශවල දැඩි පරීක්ෂාවට ලක්විය. එම පරීක්ෂා කිරීමෙන් අනතුරුව සම්මුගනාදන් සුරේෂ් කුමාර් නමැති ගුරුවරයකු අත්අඩංගුවට පත් විය. මේ සම්බන්ධව ඔහුට විරුද්ධව නඩු පැවැරුණි. 252/2008 නඩු අංකය යටතේ එම නඩුව අසා තිබිණි. එම නඩුව විභාගය කිරීමේදී සම්මුගනාදන් තවත් එල්ටීටීඊ සාමාජිකයකු ලෙස පිළිගැනුණි. ඔහු එල්ටීටීඊය යටතේ පුහුණු වූ හැටිත් ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා හරහා ඔහු එල්ටීටීඊයට සම්බන්ධ වූ හැටිද උසාවියේදී පාපෝච්චාරණය කළේය.

මීට අමතරව කැප්ටන් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්විය. ඔහු ත්‍රිත්ව විද්‍යාලයේම සිසුවකුගේ පියාය. ඔහුගේ බැංකු ගිණුමේ මිලියන ගණනක මුදල් අත්අඩංගුවට ගන්න මොහොතේදීද තිබිණි. මේ වන විට ත්‍රිත්ව විද්‍යාලය තුළ අවතැන් වූ ළමයි 11 දෙනෙක් සිටියහ. මේ සියලු දෙනාම එල්ටීටීඊ සාමාජිකයන්ය. පසුව ඔවුහුද අත්අඩංගුවට පත් වූහ.

ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති රොඩ් ගිල්බඩ් ද අත්අඩංගුවට ගත් නමුත් ඔහු රටින් පිටුවහල් කෙරිණි. ත්‍රස්ත විමර්ශන ඒකකයට ඔහු ගැන විවිධ චෝදනා ගණනාවක් එල්ලව තිබියදී ත්‍රිත්ව විද්‍යාලයේ ඇතැම් ආදි ශිෂ්‍යයන්ගේ බලපෑම් මත ඔහුව රටින් පිටුවහල් කිරීම පමණක් සිදුවිය. විදුහල්පතිවරයාට ලංකා නීතිය අනුව දඬුවම් කොට බන්ධනාගාර ගත කළේ නැත. නඩුව දිගට අසා 2008 වසරේදී මොහු රටින් පිටුවහල් කළේය. මේ සිදුවීම හිටපු ආරක්ෂක ලේකම්වරයාද දැන සිටියේ නැත. ඉතා රහසිගත මෙහෙයුමක් ලෙස මෙම කාර්යය සිදුවිය.

රටින් පිටුවහල් කළ රොඩ් ගිල්බඩ් මාස හතරකට පසුව වෙනත් නමකින් මෙරටට පැමිණෙයි. ඒ වනවිට ත්‍රිත්ව විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ඇමැතිවරුන්ද සිටින මොහොතකය. ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා නැවත ලංකාවට ඒම ගැන යුද්ධය පැවැති සමයේ වුවත් මොවුන් විරුද්ධ වූයේද නැත. ඔවුනට අවශ්‍ය වූයේ පාසලේ නමට වන හානිය වළකාලීම පමණි. නමුත් රට තුළ සිදුවූ දෙය රටට වීමට ගිය හානිය ගැන ඔවුනට තැකීමක් නැත.

මේ වකවානුව මහනුවර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දර මහතාය. පූජිත් ජයසුන්දර මහතා හා ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා අතර සබඳතා ගැන වාර්තා වන්නේ ඉන් පසුවය.
මහනුවර ප්‍රදේශයේ මහතැන්න නම් වත්තක් රොඩ් ගිල්බට් විසින් ඔහු ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පති ලෙස සිටින කාලයේ මිලදී ගෙන ඇත. ඔහු එන්නේ එම වත්තටය. ඒ පුතාගේ විවාහ මංගල උත්සවයටය. ඔහුගේ පුතා විවාහ වූයේ ලංකාවේ කාන්තාවක් සමඟය. එම විවාහ මංගල්‍ය පවත්වන වෙලාවේදී ඊට ආරක්ෂාව සපයා ඇත්තේ පොලිස් නිලධාරීන්ය. එසේම එම විවාහ උත්සවයට ඉහළ පොලිස් නිලධාරීන්ටද ආරාධනා ලැබෙයි.
එල්.ටී.ටී.ඊ.ය සමඟ එකතුව රටේ ජනාධිපතිවරයා ඝාතනයට උත්සාහ කළ ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති ගැන මහනුවර ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරීන් නොදැන සිටීම විහිළුවකි. එසේම ආගමන විගමන නිලධාරීන්ට ද හසුනොවී රටින් පිටුවහල් කළ අයකු මාස හතරකට පසු වෙනත් නමකින් පැමිණෙන විට නොදැන සිටීම සැකයට තුඩු දෙන්නකි. මන්දයත් මොහු එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ අයකු නිසා ඔවුනටද එම කාර්යයෙන් මඟ හැරීමට බැරිය.

මෙම විවාහයට මැති අමැතිවරුන්ද සහභාගි වී තිබේ. එසේ නම් ඔවුන්ද මේ කාරණා නොදැන සිටියා යැයි කිව නොහැකිය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනයට තැත් කළ ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා ලංකාවට නැවත පැමිණ මංගල උත්සව පවත්වන තෙක් නුවර ජේ‍යෂ්ඨ පොලිස්පති පූජිත් ජයසුන්දර දැන නොසිටියේ නැත. අඩුම තරමේ පූජිත් ජයසුන්දර මහතා සිය ඉහළ නිලධාරීන්ට මේ බව දැනුම් දී ද නැත.

මේ අතර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මුදල් එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිටපු විදුහල්පතිවරයා ලබාදී ඇති බවට නිශාන්ත මහතා ආදි ශිෂ්‍ය සංගමයට පැමිණිලි කරයි. ඒ 2009දීය. එම පැමිණිල්ල මත ආදි ශිෂ්‍ය සංගමය මේ කාරණා සොයන්නට පටන් ගත්තේය.

ඒ වන විටත් ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සුනාමි අරමුදල් ගිණුමෙන් රුපියල් මිලියන 202ක් අතුරුදන් වී තිබිණි. එම මුදල්වලට වුණේ කුමක්දැයි කවුරුත් නොදනිති. පසුව මේ සම්බන්ධව පෞද්ගලික විගණන ආයතන දෙකකට භාරදී විගණනයක් කර ඇත.
එම විගණනයේදී වාර්තා වූයේ එම ගිණුම භාවිත කරනු ලැබ ඇත්තේ හිටපු විදුහල්පතිවරයා විසින් යනුවෙනි. මීට අමතරව පෞද්ගලික බැංකුවක සාමාන්‍යාධි කාරිවරයකු සහ වර්ල්ඩ් විෂන් ආයතනයේ අයකුද මීට සම්බන්ධ බව සොයාගෙන ඇත. මෙම විදුහල්පතිවරයා ලංකාවට ගෙන එන්නේද මේ පුද්ගලයන් දෙදෙනාගේ මැදිහත් වීමෙනි. පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ නීතිරීතිද උල්ලංඝනය කරමින් චෙක්පත් එළියේ ගනුදෙනුවලට යොදාගෙන තිබේ.

මේ විගණනයෙන් පසු 2011 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත. මේ සියලු විගණනවලින් පසු ත්‍රිත්ව විද්‍යාල මුදල් තැන්පත් කර ඇති රහසිගත ගිණුම් තුනක් ඇති බව සොයා ගැනුණි. මෙම ගිණුම් තුනෙන් චෙක්පත් 137ක් හුවමාරු වී තිබිණි. ඉන් චෙක්පතක් ලබාදී ඇත්තේ එවකට මහනුවර භාරව සිටි වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටය. ඒ රුපියල් මිලියන 12ක චෙක් පතකි. ත්‍රිත්ව විද්‍යාලය මඟින් සුනාමියෙන් අවතැන් වූ අයට නිවාස සාදා දීමට මුදල් ලබාදෙන ලෙස එකල ප්‍රචාරය කර ඇත. එම මුදල් වැටී තිබුණේ ඉහත ගිණුම් තුනෙන් එකකටය. පාසලේ භාණ්ඩාගාර බිල්පත්වල මුදල්ද දමා තිබුණේ මෙම ගිණුම්වලටය. පාසලේ සුනාමි ගිණුමේ මුදල්වලින් රුපියල් මිලියන 12ක මුදලක් වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ගිණුමට ගොස් ඇත.

ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කළ පසු නැවත ලංකාවට එන බව පූජිත් ජයසුන්දර මහතා දැන සිටි බව හොඳින් පැහැදිලි වන්නේ කටුනායක ගුවන් තොටුපොළේ සිට මහනුවරට කැඳවාගෙන යන ගමනය.

මේ ගමනට ඇමැතිවරයකුද එක්වී තිබෙන බවට තොරතුරු තිබේ. මාස 2 - 3ක් ලංකාවේ රැඳී සිටින හිටපු විදුහල්පතිවරයා නැවත සිය රටට යවන තෙක් ආරක්ෂාව ලබාදීමට මෙම සන්තෝෂම් මුදල් ලබාදී තිබෙන බව මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

මේ කාරණා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකිරීම නිසා නිශාන්ත ද සිල්වා මහතාට මරණ තර්ජන එල්ල වෙමින් පවතියි. එසේම ඔහුගේ ව්‍යාපාරවලටද දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියි. මේ පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා රටට හෙළි කිරීමෙන් පසුව ඔහු පවරා තිබූ නඩුවක වාර්තා සහිත ෆයිල් එක අතුරුදන් වී ඇති බවද වාර්තා වෙයි.
මහනුවර උසාවියේදී 2017-05-30 දින වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය යටතේ ආරක්ෂාව ලබාදෙන ලෙස අධිකරණය නියම කළත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ආරක්ෂාව මෙතෙක් ලබාදී නැත.
රටේ නායකයා ඝාතනය කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදියා ආරක්ෂා කොට ඔවුන්ගෙන් මුදල් ලබාගත් තැනැත්තන් අද ආරක්ෂා වී ඇත. ඒ පිළිබඳ හඬක් නඟමින් ඊට විරුද්ධව කතා කළ අයට අත්වී ඇත්තේ බියෙන් සැකෙන් ජීවත් වීමටය.
නිශාන්ත මහතාට දිගින් දිගටම දැන් තර්ජන ගර්ජන එල්ල වෙමින් පවතියි. මේ නිසා ඔහුට මේ සම්බන්ධව පැවැත්වෙන නඩු විභාගයටද සහභාගි වීමට නොහැකි වී තිබේ. එහෙයින් ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට නඩු අංක ඒඅ 27942/ඕ යටතේ දිවුරුම් ප්‍රකාශයක්ද ලබාදී තිබේ. ඒ 2013-01-31 දිනදීය.
අපි මේ සම්බන්ධව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතිඥ ප්‍රේමනාත් ‍ෙදාලවත්ත මහතාටද කතා කළෙමු.

ඔහු කියා සිටියේ මෙවැන්නකි. මෙම සිදුවීම පවතින නඩුවක්. මේ නඩුවේ බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් තමයි පූජිත් ජයසුන්දර මහතාට රුපියල් මිලියන 12ක චෙක්පතක් ලබාදී ඇති බව. තව චෙක්පත් දුන්න අය ඉන්නවා. නිශාන්ත ද අල්විස් මහතා මේ සම්බන්ධව ඇති නඩුවලට පවා ඉදිරිපත් වීමට නොහැකිව ඉන්නේ. ජීවිත තර්ජන තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබුණා. ගරු අධිකරණයට මේ කාරණා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිශාන්ත මහතාට ආරක්ෂාව ලබාදීමට දැනුම් දුන්නා. ඒත් තවම එම ආරක්ෂාව ලබාදී නැහැ. මහනුවර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මේ බව දැනුම් දුන්නා. ඊට පස්සේ අපරාධ විමර්ශන කොමිෂන් සභාවට මේ ගැන පැමිණිලි කළාට එහි නිර්දේශයන් වූයේ ආරක්ෂාව ලබාදීම. නමුත් තවම ආරක්ෂාව ලබාදී නැහැ. ඉතින් මේ නිසා නිශාන්ත ප්‍රියලාල් ද අල්විස් මහතාගේ ජීවිතය අනතුරක තිබෙනවා. නමුත් ඊට අදාළ ක්‍රියාමාර්ග තවම අරගෙන නැහැ." යනුවෙනි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon