එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමැතීමට ජනපති ඇමෙරිකාවට

  👤  3115 readers have read this article !
By mawbima 2018-09-23

තිවංක බැරගම නිවියෝර්ක් නුවර සිට

තඑක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය ඇමැතීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෙනසුරාදා (22දා) ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිවුවැනි අවස්ථාව මෙය වේ.

එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 73 වැනි සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.

එහි ප්‍රධාන සැසිවරාය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපතිවරයා සැසිවරාය ඇමැතීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බවද ජනාධිපතිවරයා මීට පෙර සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ප්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේ සුවිශේෂී දේශනයක් අතරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එක් වීමට නියමිතය.

හෙට (24දා) දින පැවැත්වෙන එම සමුළුව අමතා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිමය පද්ධතීන් සහ මානව හිමිකම් පිළිබඳව වඩාත් වැදගත් වූ මාර්ගෝපදේශ ඇතුළත් දේශපාලනමය ප්‍රකාශයක් කරමින් ඊට විශේෂ දායකත්වයක් දැක්වීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත.

නෙල්සන් මැන්ඩෙලා ජන්ම ශත සංවත්සරය සමරමින් මෙම සාම සමුළුව පැවැත්වෙන අතර එහිදී සාමාජික ජාතීන් එක්ව ප්‍රඥප්තියක්ද සම්මත කර ගැනීමටද නියමිතව තිබේ.

හෙට පැවැත්වෙන ලෝක මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවටද ජනාධිපතිවරයා එක්වෙයි. ක්‍ෂය රෝගය මැඬලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලු රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් 26දා පැවැත්වෙන සැසිවාරයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය. තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසහන මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආරම්භ කිරීමට නියමිත නව අරමුදලකට අදාළ ගිවිසුමට එදින පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අස්සන් තැබෙනු ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ට අනුබද්ධ ආයතනයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවත්වන බෝ නොවන රෝග පිළිබඳ සමුළුව සැප්තැම්බර් 27දා පෙරවරුවේ ආරම්භ කෙරෙන අතර ජනාධිපතිවරයා එම සමුළුවද අමතා විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතරතුර සැසිවාරයට සහභාගි වන ලෝක නායකයන් කිහිපදෙනකු සමඟද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා සමඟ විශේෂ සාකච්ඡාවලට ජනාධිපතිවරයා එක්වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon