මෛත්‍රි - මහින්ද එක් කරන අවසන් මෙහෙයුම අරඹනවා

  👤  3346 readers have read this article !
By mawbima 2018-09-23

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

තජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක් කිරීමේ අවසන් මෙහෙයුම තමා කඩිනමින්ම ආරම්භ කරන බව හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති දි.මු. ජයරත්න මහතා ඉරිදා 'මව්බිම'ට පැවැසීය.

ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා තමා වෙන වෙනම හමු වී සාකච්ඡා කර පසුව මෙම නායකයන් දෙදෙනාම එකට මුණගස්වා තීරණාත්මකව මෙම සාකච්ඡාව කිරීමට අපේක්ෂා කරන බවද ජයරත්න මහතා ප්‍රකාශ කෙළේය.

මෙම නායකයන් දෙදෙනා සමඟ මීට පෙර මේ සම්බන්ධයෙන් තමා සාකච්ඡා කළ බවත් එය අසාර්ථක වූ අතර එහි අඩුපාඩු ගැන අවධානය යොමු කොට යළි මෙම සාකච්ඡා තමා ආරම්භ කරන බවද දි.මු. ජයරත්න මහතා පෙන්වා දෙයි.

ඊට අදාළව නව න්‍යාය පත්‍රයක් අලුතෙන් සකස් කරන බවද ඔහු ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂය යටතේ රට විනාශ වෙමින් පවතින නිසා එය වැළැක්වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බවත් ඒ සමඟම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමේ තීන්දුව ගතයුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පෙන්වා දෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට ගැන සිතා අනිවාර්යයෙන්ම එක්විය යුතු බවත් එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය පහසුවෙන් පරාජය කළ හැකි බවත් දි.මු. ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon