බෝධි පූජාවේ ගුණ මහිමය විද්‍යාත්මකව තහවුරු වන හැටි

  👤  3295 readers have read this article !
By mawbima 2018-09-23

බෝධි වන්දනාව හා එයින් ලැබෙන මානසික සුවය පිළිබඳ ලෝකවාසී බෞද්ධ ජනතාව අතර ඇත්තේ අසීමිත විශ්වාසයකි. මේ විශ්වාසය බෞද්ධ ජනතාව තුළ ඇති වුණේ සිද්ධාර්ථ කුමරුන් බුදු බව ලබා "ඇසතු බෝ" සමිඳුන්ට තම කෘතගුණ සැලකීමේ ක්‍රියා පිළිවෙතත් සමඟය.

බුදුන් වහන්සේ සිය බුද්ධත්වයෙන් 21 වැනි වස වැඩ සිටියේ සාවත්ථිනුවර ජේතවනාරාමයේය. එසමයෙහි උන්වහන්සේ වෙනත් ප්‍රදේශයක් කරා වැඩම කරන අවස්ථාවේදී අනේපිඬු සිටුතුමාගේ ඉල්ලීම වූයේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කිරීමට යමක් දෙන ලෙසය.

එවිට ආනන්ද හිමියන් මුල්වී බුදුන් වහන්සේට බුද්ධත්වය සඳහා සරණ වූ ජයශ්‍රී මහ බෝධි අංකුරයක් එහි රෝපණය කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය.
සිද්ධාර්ථ ගෞතමයන් බුද්ධත්වය ලබන මොහොත්දී බෝ ගසම තෝරා ගත්තේ ඇයි? අප මේ පිළිබඳ සොයා බැලිය යුතුය.

"මේ ගවේෂණය ලෝකයේ බොහෝ රටවල විද්වතුන්ගේ අවධානයට පාත්‍ර වූයේ නවීන විද්‍යාව බිහිවීමටත් පෙර සිටයි. මම සිතනවා බුදුන් වහන්සේ තමයි මේ ලෝකයේ ශේ‍ර්ෂ්ඨතම විද්‍යාඥයා කියලා."
"උන්වහන්සේ බෝ ගස බුද්ධත්වය ලබන මොහොතේ තෝරා ගත්තේ නිකම්ම නොවෙයි."

කලෙක සිට මේ පිළිබඳ තොරතුරු එක්රැස් කරන කොළඹ සරසවියේ මෘද්‍රකාංග ප්‍රවර්ධන ඒකක ප්‍රධානී හර්ෂ විජයවර්ධන මහතා කීවේය.

"මම මේ සම්බන්ධව වැඩි තොරතුරු කතා කරන්න කලින් මගේම අත්දැකීමක් කියන්නම්. අපේ මහ ගෙදර තිබෙන වත්තේ පැත්තක කාලයක ඉඳල බෝ ගසක් පැළවී තිබෙනවා. මේ බෝ ගසට ම¼දක් එහාට වෙන්න ළිඳක් එහෙමත් තිබෙනවා. මේ ළිඳේ කවදාවත් වතුර අඩුවෙන්නේ, නැතිවෙන්නේ නැහැ. නියඟය කාලෙට පවා වතුර තිබෙනවා.

මේකට හේතුව තමයි මේ බෝ ගස. බෝ ගස් තිබෙන තැන්වල වතුර අඩු නැහැ. වතුර හොඳින් තිබෙන දිය උල්පත් බහුලව පවතින තැන්වල තමයි බෝ ගස් මහා විශාල විදියට දලුලා වැඩෙන්නේ."
හර්ෂ විජයවර්ධන මහතා මේ තුළින් ඉස්මතු කොට දක්වන්නට උත්සාහ ගන්නේ විද්‍යාත්මකව බෝ ගසේ ඇති සිසිලසට හේතුව පහදා දෙන්නටය.

බෝගස එසේත් නැතිනම් බෝධි වෘක්‍ෂය බුදුන් වහන්සේ පහළ වීමටත් පෙර සිට ඉන්දියාවට පමණක් ආවේණික වූ පැරැණිම ශාක විශේෂයකි. කාලයත් සමඟ කඳ විශාල වන බෝ ගසේ අතු පතර විහිදී යන්නේ සැලකිය යුතු ප්‍රදේශයකට සිසිලස බෙදා දෙමිනි.
මෙහි ඇති විද්‍යානුකූල තත්ත්වය නම් පෙර කී ලෙස අතුපතර බෙදී යන ප්‍රදේශය පුරාවට කිසියම් කිරණ ශක්තියක් විහිදී යෑමයි. එම කිරණ කිසියම් රටාවකට අනුව බෙදාහැරීම සිදුවෙයි.

"බෝ කොළයේ හැඩය ගැන ටිකක් හිතන්න. එහි පොළොවට බරවී ඇති සිහින් තුඩ විශේෂිතයි. සිහින් බව නිසා එයින් නිකුත් කරන කිරණ ශක්තිය, එසේත් නැතිනම් චුම්බක ශක්තිය තුළින් අධිමානසික තත්ත්වයට කිසියම් යහපත් බලපෑමක් ඇති වෙනවා. මානසික ආතතිය දුරු කරන ස්ථානයක් බවට බෝ සමිඳුන්ගේ සිසිල අපට උදවු වී තිබෙන්නේ මේ සත්‍ය නිසයි.

බුදුන් වහන්සේ මේ ශක්තිය දැන සිටියා. උන්වහන්සේ බුද්ධත්වය සොයා ගොස් පරිශීලනය කළ වෙනත් වෘක්‍ෂ දිහා බැලුවොත් ඒ තුළත් ඉගෙන ගත යුතු දෙයක් තිබෙනවා. එනම් බොහෝ දිගැටි පත්‍ර තිබෙන වෘක්‍ෂ තුළ වෙනත් ගස්වලට වඩා කිරණ විහිදා දැක්වීමේ විශේෂත්වයක් තිබෙනවා කියලා. බෝගස එයින් සුවිශේෂයි.

දැන් බෝ ගසේ පත්‍ර දිහා බලන්න. ඒ කොළ නිතරම රිද්මානුකූලව චලනය වෙනවා. අපි බෝ ගස කිව්වත් ඉන්දියානුවන් මේ ගස මුල් කාලයේ හැඳින් වූයේ 'සලපත්‍ර' කියලයි.

"මේ සලපත්‍රවලින් මිනිස් සිරුරට යහපත් විදුලිය ආකර්ෂණය කරන බවත් විද්‍යාත්මක පරීක්‍ෂණ තුළින් සොයාගෙන තිබෙනවා. මේ හිතකර කිරණ නිසා මිනිස් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්වී මානසික සමතුලිතතාවක් ඇති කරන බව වැඩිදුරටත් හෙළිදරව් වී තිබෙනවා.

පසුගිය කාලයේ විද්‍යාඥයන් සිදු කළ අලුත්ම පර්යේෂණය වූයේ ජංගම දුරකථනයක බැටරියක් ප්‍රාණවත් කිරීමට බෝපත් දෙකක තුඩු දෙක යොදා ගැනීමය. ඔවුන් ඒ තුළින් පෙන්වා දී තිබෙන්නේ එම බැටරිය ප්‍රාණවත් කිරීමට තරම් බලයක් බෝපත් තුඩු අතර තිබෙන බවයි. එමෙන්ම බෝ ගසට අකුණු නොවදින්නේ එහි බෝපත් පොළොවට බරවී තිබෙන නිසා බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටිති.
"විශ්වයේ පවතින සුබ කිරණ හුවමාරු කරන, බෙදාහරින මධ්‍යස්ථානයක් විදියට බෝ මළුව සඳහන් කළ හැකියි. එහි පැමිණෙන බැතිමතුන්ට මේ කිරණ නිසා ඇති කරන මානසික සහනය හා බැඳීම විශිෂ්ටයි." හර්ෂ විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

බෝගස පිරිසුදු ඔක්සිජන් වායුව මුදා හරින්නේ උදය කාලයේ සහ දහවල් කාලයේදීය. ඒ නිසාම මානසික සුවය අපේක්‍ෂා කරන බැතිමතුන් බොහෝ විට බෝධි වෘක්‍ෂය කරා ඇදී යන්නේ එම කා ලයටය. මේ කාලවලදී මිනිස් සිරුරින් නිකුත් වන කිරණ, එසේත් නැතිනම් රශ්මී මාලාව බෝධි වෘක්‍ෂයෙන් නිකුත් කරන කිරණ හා දැඩි සබඳතාවක් ඇති බව කියැවේ. විශේෂයෙන්ම බෝධි වෘක්‍ෂ අසල භාවනා කරන බැතිමතුන්ගේ සිරුරින් නිකුත් වන රශ්මි ධාරාවල පැහැදිලි වෙනසක් දක්නට ඇති බවද සඳහන්ය.

හර්ෂ විජයවර්ධන මහතා සඳහන් කරන ආකාරයට මේ සියලු වෘක්‍ෂවල දෙවි දේවතාවෝ වැඩ සිටිති. එය අනාදිමත් කාලයක සිටම අපේ පැරැන්නන් තුළ තිබූ පැහැදිලි විශ්වාසයකි. ඒ අතරින් බෝධි වෘක්‍ෂය සුවිශේෂී පින්වත් වෘක්‍ෂයකි. ඒ වෙනත් වෘක්‍ෂවලට වඩා වෙනස්ම කිරණ බලයක්, ශක්තියක් එහි ඇති නිසාය.

"බෞද්ධ සැදැහැවතුන් වගේම අන්‍යාගමික වෙනත් අය පවා බෝ ගස අසලට පැමිණ මානසික සුවය සොයන්නේ නිකම්ම නොවෙයි. මෙන්න මේ කිරණ ශක්තිය ඔවුන්ට දැනෙන නිසයි. ශරීරයේ සිදුවන සංවර සංවේදිතාව දැනෙන නිසයි.
බෝගසේ පත්‍ර හිරු එළිය මඟින් ගන්නා කිරණ ශක්තිය හා පත්‍රවල ජලය නිසා කොයි තරම් සෙනඟ කන්දරාවක් ආවත් ඒ හැමෝටම එක සේ සිසිලස බෙදා දෙනවා. බෝ ගස තරම් සංවේදී වෘක්‍ෂයක් තවත් නැහැ. ඒක අසාමාන්‍ය ගසක්. ශක්ති කදම්බයක් ඇති වෘක්‍ෂයක්. මේක බොරු කරන්න කාටවත් බැහැ."

ලෝකයේ පැරැණිතම ගස එසේත් නැත්නම් පූජනීය බෝ ගසේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාව වුණත් අද වන විට බුදු දහම ප්‍රචලිත වී ඇති බොහෝ රටවල බෝගසට වන්දනාමාන කිරීමටත් භාවනායෝගීව සිටීමටත් තෝරාගෙන ඇත්තේ අන්ධ විශ්වාසයෙන් තොරවය. සැබැවින්ම එහි ඇති විද්‍යාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙනය. එහි ඇති කිරණ ශක්තිය මිනිස් ශරීරයට ලබාදෙන මානසික උත්තේජනය පිළිබඳ අනාවරණය වී ඇති කරුණු පහසුවෙන් බැහැර කළ නොහැකිය. බෝ ගසේ පත්‍රය හදවත හැඩයට පිහිටා තිබීමත් මෙහි ඇති අපූරු සංකේතයකි. විද්‍යාඥයන් පවසන්නේ උද්භිද විද්‍යාව හා ජීව විද්‍යාව සුසංයෝග වීමේ ප්‍රතිඵලය තුළ ඇති මානසික සහනය වෙනත් වෘක්‍ෂයන් හා මෙතරම් සමීප නැති බවය.

විශ්වයේ පවතින සුබ කිරණ රැස්කර ගන්නා බෝ පත්‍ර නිරන්තරයෙන්ම ඒ ශක්තිය ලබා දෙන්නේ බෝ මළුවට පැමිණෙන බැතිමතුන්ටය. එය මානසික පැවැත්මට හා නිරෝගී සුවයට හිතකර තත්ත්වයකි.

බුදුන් වහන්සේ ශේ‍ර්ෂ්ඨතම විද්‍යාඥයෙක් බව අප පිළිගන්නේ මෙන්න මේ තත්ත්වය නිසයි. විද්‍යාව එදා අද තරම් දියුණු නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් දියුණුවක් එදා තිබුණු බව බුදුන් වහන්සේගේ මේ තෝරා ගැනීමෙන් පෙනෙන්නට තිබෙනවා. උන්වහන්සේ ඒක අවබෝධ කර ගත්තා. ඒ අවබෝධය හා විශ්වාසය නිසා තමයි අපි බෝ සෙවණ සොයාගෙන යන්නේ. වන්දනා මානකොට පිහිට පතන්නේ. එතැනදී මානසික සහනය ලැබෙන බව අප තුළ විශ්වාසයක් ඇති වී තිබෙන්නේ."
මේ සටහන අවසන් කරන මොහොතේ ආචාර්ය හර්ෂ විජේවර්ධන මහතා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon