පෝස්ටර් කටවුට්වල මුදල්වලින් හදපු වකුගඩු අරමුදල අද ශක්තිමත් වෙලා

  👤  3225 readers have read this article !
By mawbima 2018-09-24

තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරැඹූ වකුගඩු අරමුදල අද වන විට පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව ඇති බවත්, වකුගඩු රෝග නිවාරණයට ආණ්ඩුව ගෙන යන පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙරට වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් අඩුවෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවැසුවේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියේ පිරිසුදු පානීය ජලය අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

මෙම රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ රටේ අහිංසක පොදු ජනතාව. රෝගය නිවාරණයට, මර්දනයට සහ වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ආණ්ඩුව ඉකුත් වසර තුනහමාර තුළ පුළුල් වැඩ කොටසක් ඉටු කළා. 2016 වසරේ අලුතින් එක් වූ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 3,372ක්. එය 2017 වසරේ 2,478ක්. 2018 වසරේ රෝගීන්ගේ සංඛ්‍යාව 1500ක පමණ අවම මට්ටමකට පැමිණ තිබෙනවා. මම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී මැතිවරණ ව්‍යාපාරයේ කටවුට් සහ පෝස්ටර් සඳහා ලැබුණු මුදල් තැන්පත් කර ඇරැඹූ වකුගඩු අරමුදල අද පිළිගත් ශක්තිමත් ජාතික අරමුදලක් බවට පත්ව තිබෙනවා. ඒ යටතේ වකුගඩු රෝගීන් වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් මේ වන විට ඉටුකරමින් සිටිනවා. ඒ සමඟ අත්වැල් බැඳගෙන සිටින රාජ්‍ය අංශයේ, පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ මෙන්ම ජාත්‍යන්තරයේද සියලු දෙනා වෙත මා ස්තුතිය පුද කරනවා.


අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon