නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියගේ මළසිරුර ලන්දේසි කොටුව වෙරළින් හමුවෙයි

  👤  3224 readers have read this article !
By mawbima 2018-09-24

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය මණ්ඩපයේ ව්‍යාපාර අධ්‍යයනය හා ජනසන්නිවේදන පීඨයේ කථිකාචාර්යවරියක වූ නඩරාසා පොතනායගි යන අයගේ මළසිරුර ඉකුත් 21 වැනිදා ත්‍රිකුණාමලය ලන්දේසි කොටුව අසලින් සොයා ගනු ලැබීය.
මෙසේ මියගොස් ඇත්තේ වවුනියාව ආසිකුලම් කට්කුලම් එක ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි කාන්තාවකි.
මේ කථිකාචාර්යවරියගේ අත්බෑගය හා පාවහන් යුගල ත්‍රිකුණාමලය වෙරළේ තිබී ඉකුත් 21 වැනිදා උදෑසන ශාරීරික අභ්‍යාස සඳහා වෙරළට පැමිණි පුද්ගලයකුට හමුවී එය ඊට නුදුරින් රාජකාරි කළ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට භාර දී තිබූ අතර එහි තිබූ හැඳුනුම්පත්වලින් ඇය කථිකාචාර්යවරියක් බව හඳුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එස්. ලලිත් කුමාර මහතා ඒ බව විශ්වවිද්‍යාලයට දැනුම් දීමෙන් පසුව අතුරුදන් වී ඇති බවට නිලාවේලි පොලිසියට පැමිණිලි කරනු ලැබීය.

අතුරුදන් වූ බවට පැමිණිලි කර පැය කිහිපයට පසුව ඇයගේ මළ සිරුර කොටුව වෙරළේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබීය.
මළසිරුර නිරීක්ෂණයට එම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය අතිරේක මහෙස්ත්‍රාත් හා කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් චමිලා රත්නායක මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරමින් පවුලේ ළඟම ඥාතීන් සිටීදැයි විමසුවාය.
එම අවස්ථාවේ මියගිය අයගේ සැමියා වන එස්. සෙන්දුරන් යන අය ඉදිරිපත් වූ අතර ඔහු එම ස්ථානයේ තිබූ සිරුර තම බිරියගේ බවට මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී හඳුනාගනු ලැබූ නමුත් යමක් කීමට ඇත්දැයි මහෙස්ත්‍රාත්වරිය ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. අනතුරුව මළසිරුර වෙරළට පාවෙමින් එනු දැක තිබූ එම ස්ථානයේ පිහිටි යුද හමුදා නිලධාරි නිවස්නයේ සේවයේ නියුතු සාමාන්‍ය සෙබළ ප්‍රදීප් ප්‍රසන්න යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහෙස්ත්‍රාත්වරිය ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ අවස්ථාවේ සෙබළ ප්‍රදීප් ප්‍රියන්ත පැවැසුවේ මම නිලධාරී නිවස්නයේ ඉඳලා එළියට ඇවිත් වෙරළ දිහාව බලමින් සිටියදී වෙරළින් මීටර් 10ක් පමණ මුහුදේ යමක් පාවෙනවා වාගේ දැක්කා. පස්සේ මොකක්ද කියලා බලන්න ටිකක් ළඟට ගියාම එය මළසිරුරක් බව දුටුවා යනුවෙනි.

අනතුරුව සිරුර නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරිය මියගිය අය ගැබිනියක් වන හෙයින් විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් යටතේ මෙම මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ත්‍රිකුණාමලය මහ රෝහලේ සිදු නොකර මළසිරුර යාපනය ශික්ෂණ රෝහලට යවන ලෙසට නියෝග කළාය. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව භාර ගන්නා දේහය ආදාහනය නොකර මිහිදන් කරන ලෙසට පවුලේ ඥාතීන්ට නියෝග කරමින් වැඩිදුර විභාගය හා සාක්ෂි විමසීම ඔක්තෝබර් 12 වැනි දින සිදුකර බව පැවැසුවාය.

ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලට යවනු ලැබූ මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඉකුත් 22 වැනිදා සිදු කර තිබූ අතර එය දියේ ගිලී හුස්ම සිරවීම නිසා සිදුවූ මරණයක් බවට තීරණය කර ඇති බව පොලිසිය පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩයමක් වැඩිදුර පරීක්ෂණ මෙහයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon