හොරණ විද්‍යාරත්න නවෝදයේ නියමුවා ඕපල්ලේ ඥානසිරි නාහිමි

  👤  3129 readers have read this article !
By mawbima 2018-09-24

අප රටේ විශ්ව කීර්තියට පත් විද්‍යායතන පිරිවෙනක් වේ නම් ඒ හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයයි. එහි මෑත ඉතිහාසය වර්ණවත් කළ පරිවේණාධිපතිවරයා වූ ඕපල්ලේ ඥානසිරි හිමියෝ, අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඊයේ සවස් භාගයෙහි හොරණ නගර සභා පිටියේදී සිදු කෙරිණි.

විද්‍යාරත්නයේ ආදි කර්තෘවරයාණෝ මහනුවර ධම්මරතන හිමිපාණෝය. උන්වහන්සේ හොරණ රාජමහා විහාරයේ තිබූ පොල් අතු මඩුවක් මහා ශිල්ප කේන්ද්‍රයක් කරන්නට මුල පිරූහ. පිරිවෙන නමින් වූ අධ්‍යාපන සංකල්පය උඩු යටිකුරු කළ උන්වහන්සේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට පමණකුදු නොව ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පරිපූර්ණ අධ්‍යාපනයක් ලබන්නට සුදුසු විද්‍යා පීඨයක් ගොඩනැඟූහ. හොරණ වජිරඥාන හොරණ පඤ්ඤාසේකර, කහටපිටියේ රාහුල, යගිරල මහින්ද යන නාහිමිවරුන්ගේ පරිවේණාධිපති යුග මෙහෙවර තවදුරටත් ප්‍රාජාවක් කළ ඥානසිරි හිමියෝ විද්‍යාරත්නයේ වර්තමාන අභිමානයේ පුරෝගාමියාය.

උන්වහන්සේ වැඩ කරන්නට පටන් ගත්තේ යෞවන ජවයද ඇතිවය. ඒ නිසාම කොතෙකුත් අභියෝග ආවත් ඒ සියල්ලම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ජය ගන්නට සමත් වූහ. මෑත කාලයේ රෝගාතුරව සිටියත් කළ වැඩ ටික නම් ඉමහත්ය. වැඩ වැඩි නිසාම ලෙඩ වූ උන්වහන්සේගේ හැම කටයුත්තම පිරිපුන්ය. අඩක් නිම කොට නතර කළ වැඩක් ඇත්තේම නැත.
නාට්‍ය කලාව, ක්‍රීඩාව, තාක්ෂණය යන හැම ක්‍ෂේත්‍රයකම විද්‍යාරත්නය, වාර්තා පිහිටුවා ඇත. වරක් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගයක ප්‍රථම ස්ථානය දිනූ විද්‍යාරත්නය, එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයා සමඟද සටන් වැදුණේය. ඥානසිරි හිමියන් භාරකාරත්වය දැරුවේ එවන් විද්‍යාරත්නයකය.

මේ රටේ 56 විප්ලවයේ පුරෝගාමී යුග මෙහෙවර පිටුපස විද්‍යාරත්නයද විය. අද ද විද්‍යාරත්නයට හැම දේශපාලන නායකයෙක්ම එයි යයි. එහෙත් විද්‍යාරත්නය දේශපාලනය නඟාසිටුවන්නට නොව අධ්‍යාපනය නඟා සිටුවන්නට කළ වැඩ කොටස අධ්‍යාපන අමාත්‍යාංශයද පරදවයි.

ඥානසිරි හිමියෝද බොහෝ දේ ඉතිරි කොට ගියහ. රැගෙන ගිය දෙයක් වේ නම් ඒ කුසලාකුසල කර්ම පමණි.

අතීතය ඉකුත්ය. වර්තමානයේ අපි ජීවත් වෙමු. අතීත අභිමානය වර්තමානයේ ප්‍රෞඪත්වයේ පසුබිමය.

ඊයේ දවස වැදගත්ය. අද දවස ඊටත් වඩා වැදගත්ය. ඥානසිරි හිමියන් නතර කළ තැනින් ඔබ්බට යන්නට අලුත් පරිවේණාධිපතිවරයෙක් පත්විය යුතුය. ඒ සම්බන්ධව අද දවසේ සාකච්ඡාවකි. දක්ෂ පක්ෂ විචක්ෂණ
කාර්යක්ෂම නව පරිවේණාධිපතිවරයකු විද්‍යාරත්නයට අවශ්‍යයි.

මේ අභිමානවත් ශිල්පායතනයේ අනාගතය තවදුරටත් පැහැදිලි කරලීමේ කාර්යභාරය නව සම්ප්‍රාප්තිකයාගේ නායකත්වය
පෞරුෂය විසින් තීරණය කරනු ඇත.

විදුර අබේනායක


ඡායාරූපය - හොරණ-බන්දුල ආර් ගුලවත්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon