අයිස්වල මිල හදිසියේ වැඩි කිරීමෙන් ධීවරයා කබලෙන් ළිපට වැටුණා - සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සභාපති සුජිත් සමන්ත

  👤  3096 readers have read this article !
By mawbima 2018-09-24

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

රජයේ සහ පෞද්ගලික අයිස් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා අයිස්වල මිල හදිසියේම වැඩි කිරීම හේතුවෙන් ධීවරයා කබලෙන් ළිපට වැටී ඇතැයි සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා 'මව්බිම'ට පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ සුජිත් සමන්ත මහතා,
රජය අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල වැඩි කළා. අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සහනාධාරයක් ලබාදෙන බව කියා සිටියා. නමුත් මේ වනතුරු කිසිදු සහනාධාරයක් නම් ලැබුණේ නෑ. සිදු වුණේ සහනාධාර දෙනවා කිව්වට පස්සෙත් ඉන්ධන මිල ඉහළ යෑමයි.

මේ අතර අයිස් මිලත් දැන් වැඩි කරලා. සාමාන්‍යයෙන් අයිස් හොණ්ඩරයක කිලෝග්‍රෑම් 50ක් තිබිය යුතුයි. නමුත් අපේ රටේ රජයේ හෝ පෞද්ගලික අයිස් කර්මාන්තශාලාවල අලෙවි කරන කිසිම තැනක කිලෝග්‍රෑම් 50ක් බර අයිස් කැටයක් ගන්න නැහැ. තියෙන්නේ කිලෝග්‍රෑම් 42 -43ක් බර අයිස් කැට. නමුත් ඔවුන් මුදල් අය කරන්නේ කිලෝග්‍රෑම් 50කට. මේ තත්ත්වයට හේතුව අයිස් නිෂ්පාදනය කරන කිසිදු කර්මාන්තශාලාවක් ධීවර නිලධාරීන් විසින් අධීක්‍ෂණය නොකිරීමයි.

අපි කිලෝග්‍රෑම් 50ක් බව කියන අයිස් කැටයක් මිලදී ගත්තේ රුපියල් 160 සිට 180 දක්වා වන මිලකට. නමුත් එක්වරම අයිස් කැටයක මිල රුපියල් 230 දක්වා වැඩි කර තිබෙනවා. බහු දින යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට යෑමට පෙර අයිස් ගබඩා කර ගැනීම සිදු කරනවා. ඒ ඒ බහු දින යාත්‍රාවේ තිබෙන ශීතාගාරයේ ඉඩ ප්‍රමාණය අනුව අයිස් හොණ්ඩර 100 සිට 900 දක්වා රැගෙන යෑමක් සිදු වෙනවා.
අයිස් මිල ඉහළ යෑම බලපෑමක් වන්නේ බහුදින යාත්‍රාකරුවන්ට පමණක් නොවෙයි. සුළුපන්න ධීවරයන්ට, සංචාරක මාළු අලෙවි කරන්නන්ට මෙන්ම මාළු ප්‍රවාහනය කරන ව්‍යාපාරිකයන් පවා මෙම ගැටලුවට මුහුණ දෙනවා.

වැට් බදු ගෙවීම සම්බන්ධයෙන් වූ ගැටලුවක් අයිස් මිල වැඩිවීමට හේතුව බවයි අප කරන ලද සොයා බැලීමකදී දැන ගැනීමට ලැබුණේ. අයිස් හොණ්ඩරයකට රුපියල් 20ක් වන වැට් බද්ද ධීවරයාගෙන් රුපියල් 50ක් අය කරගෙන ගෙවීමටයි අයිස් කර්මාන්තශාලා හිමිකරුවන් කටයුතු කර ඇත්තේ.
ඉන්ධන මිල නිසා ගහෙන් වැටුණු අපිට අයිස් මිල වැඩිවීම නිසා ගොනා ඇන්නා වාගේ වැඩක් තමයි මේ වනවිට වෙලා තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon