මහවැලි ගඟේ පරිසර විනාශය නිරීක්ෂණයට ගිය මහියංගණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන්ට වැලි තොටුපොළ හිමියෝ පාට් දමති

  👤  3158 readers have read this article !
By mawbima 2018-09-24

මහියංගණය - රංජිත් කරුණාවීර

මහියංගණය නගරයේ මැදින් ගලා බසිනා මහවැලි ගඟ අනවරත වැලි කැණීම් හේතුවෙන් මේ වන විට විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බවත්, මහියංගණ ප්‍රාදේශීය සභාවේ මුදල් වියදමින් නඩත්තු කරනු ලැබූ පගරගම්මන පොදු නාන තොටුපළ අසලම වැලි තොටුපළක් ලබා දීම හේතුවෙන් ගම්වාසීන් හට මහවැලි ගඟේ දිය නෑමට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවට ගම්වාසීන් එල්ල කරන චෝදනාවට එම ස්ථානය
නිරීක්ෂණය සඳහා පසුගිය 21 වැනි දින මහියංගණ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී වැලි ව්‍යාපාරිකයන් හා ඔවුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන මහතා, මහියංගණය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඊ.එම්. සම්පත් ඒකනායක මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු කණ්ඩායමක් එක්ව සිටියහ.

නිරීක්ෂණ චාරිකාවට පිරිස පැමිණෙන බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් පගරගම්මන ගම්මානයේ වැලි ව්‍යාපාරිකයන් පිරිසක්ද එයට බාධා කිරීම සඳහා ගම්මානයේ සූදානම්ව සිටියහ.
මහවැලි ගඟේ පරිසර විනාශය

නිරීක්ෂණයට පෙර ගම්මානයට පිවිසෙන මාර්ගය පිළිසකර කර දෙන ලෙසත් ගම්මානයේ පගරගම්මන වැව හරක් මරා හම් හා කටු දැමීම හේතුවෙන් දූෂණය වී ඇති බවත් එය පිරිසුදු කර විසඳුම් දෙන මෙන් ඉල්ලමින් තර්ජනාත්මකව නොසන්සුන්කාරී ලෙස වැලි ව්‍යාපාරිකයන් හැසිරුණු අතර මහවැලි ගඟ නිරීක්ෂණය අවශ්‍ය නොවන බව පවසා වැලි ව්‍යාපාරිකයන් එහිදී දැඩි බාධා සිදු කිරීම් කරන ලදී.
එසේම නිරීක්ෂණයට ගිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු දෙපළක්ද වැලි කැණීම් බලපත්‍ර සඳහා ඉල්ලුම් කර තිබී ඒවා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් විවිධ චෝදනා එල්ල කරමින් වැලි කර්මාන්තයට නැවැත්වීමට මේ ආකාරයෙන් පැමිණ බව පවසමින් වැලි ව්‍යාපාරිකයන් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් නිරීක්ෂණ චාරිකාවට බාධා එල්ල කළේය.

මහවැලි ගඟ නිරීක්ෂණයට ගිය මොහොතේදී බදුල්ල භූ විද්‍යා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය ඉන්ජිනේරුවරයා සමෘද්ධි පවුල්වලට වැලි ලබාදෙන බවට පවසා මුදල් ලබාගෙන වැලි තොටුපළවල් ලබා නොදුන් බවටත් විවිධ දූෂණ අල්ලස් විවිධ ආකාරයෙන් ලබාගත් බවට එහිදී පගරගම්මන ගම්වැසියන් චෝදනා එල්ල කළේය.

මහවැලි ගඟ නිරීක්ෂණයේ සාක්ෂි සහිතව සිදුව ඇති පරිසර හානිය අනාවරණය වූ අතර මහියංගණය ගඟ පැත්තේ සිට (බලපත්‍ර නිකුත් කර ඇති සීමාවට එහා යමින්) එහා ඉවුර වන මිනිපේ මහවැලි ගඟ ඉවුරේ විශාල ලෙස වැලි කඳු හාරමින් විශාල ලෙස වැලි කැණීම් සිදු කරන බව නිරීක්ෂණය විය. මනුෂ්‍ය ශරීරයකට වඩා උස වූ වැලි කඳු නීති විරෝධී ආකාරයට කැණීම් සිදු කරන ආකාරය නිරීක්ෂණය විය.
වැලි ව්‍යාපාරිකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙමින් ඔවුන් නීත්‍යනුකූලව නිවැරැදි ලෙස වැලි කැණීම් සිදු කරන බවත් බදුල්ල භූ විද්‍යා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය ඉන්ජිනේරුවරයා දූෂිතයෙක් නොවන බව ප්‍රකාශ කර සිටියේය.
ගම්වාසී පිරිස් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් බදුල්ල භූ විද්‍යා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය ඉන්ජිනේරු අසංක රූපවංශ මහතාගෙන් විමසූ විට පැවසුවේ
"පොදු නාන තොටුපොළක් එතැන තියෙනවා කියලා අපිට කිසිම ආයතනයකින් තහවුරු කිරීමක් නෑ. රජයේ සියලු නිලධාරීන් එකතුවෙලා පරීක්ෂණයක් කරලා තමයි බලපත්‍ර දෙන්නේ. ඔය ප්‍රශ්නය ඇති වුණේ දේශපාලනඥයෝ බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලීම් කරලා ඒවා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් තමයි. සියලුම දෙනා කිසිම වරදක් නොකර වැඩ කරනවා කියලා 100% තහවුරුවක් අපිට ගන්න බෑනේ. එතකොට කොහේ හරි වැරැද්දක් තියෙන්න පුළුවන්" ලෙස ප්‍රකාශ කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon