සැප්තැම්බර් 14 වැනිදා නිකුත් කළ නියෝග තාවකාලිකව අත්හිටුවයි

  👤  3121 readers have read this article !
By mawbima 2018-09-24

කවින්ධ්‍යා පෙරේරා

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට එරෙහිව කරනු ලබන විමර්ශනයට අදාළව ඉකුත් සැප්තැම්බර් 14 වැනිදා නිකුත් කරන ලද නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව ඉකුත් 21දා කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.


පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් ලහිරු, රජයේ අධි නීතිඥ නදී අපන්නාගොඩ මහත්මිය සමඟ ජේ‍යෂ්ඨ රජයේ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටි අතර ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සමඟ නීතිඥ සජිත් වීරසූරිය මහතා සහ නීතිඥ එලිසා කන්දබ්බා මෙනෙවිය පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය අමතමින් මෙසේ සඳහන් කළේය.

මෙය කොමිෂන් සභාවක විමර්ශන හා පරීක්ෂණවලට අනතුරුව කර ඇති නිර්දේශ ක්‍රියාත්මක වීමෙන් අනතුරුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. මෙය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 105 වැනි කොටස යටතේ සිදුවන විමර්ශනයක් නොවේ. ඒ යටතේ විමර්ශනයක් සිදු කිරීමට කෙනකුගේ පැමිණිල්ලක් තිබිය යුතුය. ඊට අදාළ ප්‍රතිපාදන 05 වැනි කොටසේ සඳහන් වෙනවා. මෙම බී වාර්තාවේ සඳහන් වෙනවා. 2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 දින දක්වා භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ පරීක්ෂණ කිරීමට හා වාර්තා කිරීමට ජනාධිපතිතුමන් විසින් කොමිසමක් පත් කළ බව. එම වාර්තාව 2017.12.30 වැනි දින ජනාධිපතිතුමාට භාර දුන්නා. එම වාර්තාව 2018 ජනවාරි 30 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.

නීතිපතිවරයා විසින් 2018 ජනවාරි 22 සහ ජනවාරි 24 දිනැති ලිපි මඟින් කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව පැවැති සොයා ගැනීම් සහ නිර්දේශ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දී ඇති අතර 2018 ජනවාරි 22 ලිපිය මඟින් කොමිෂන් සභා වාර්තාවේ සොයා ගැනීම් සහ නිර්දේශ සම්බන්ධයෙන් බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ විවිධ සිදුවීම්වලට අපරාධ වරදවල් සිදුවී ඇති බවට අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳව අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.


එවැනි උපදේශයක් නීතිපතිවරයාට ලබාදිය හැක්කේ කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන අනුව බලයක් තිබෙනවා නම් පමණි. කොමිෂන් සභා පනතේ වගන්ති 26ක් තිබෙනවා. 7 වැනි හා 8 වැනි වගන්ති ප්‍රකාරව විශාල බලතල රාශියක් ලබාදී තිබෙනවා. කොමිෂන් සභාවක් කියන්නේ ජනාධිපතිතුමා විසින් වරෙන්තු පත්‍රයක් මඟින් පත් කරනු ලබන කොමිසමක්, කොමිෂන් සභාව තුළදී ඕනෑම ලියවිල්ලක් බැංකු පොතක් ඉල්ලන අවස්ථාව තියෙනවා. මෙහිදී මා සඳහන් කරනවා කිසිම අයකුට වැඩිදුර පර්යේෂණ කරන්නවත් නිර්දේශ කරන්නවත් මෙහි බලතල නෑ. හොඳට අධ්‍යයනය කරලා මෙවැනි විමර්ශනයක් කරලා තියෙන්නේ. ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් හිටියා. ඔවුන් කොහේවත් සඳහන් කරලා නෑ වැඩිදුර විමර්ශන සිදු කරන්න කියලා.

මෙහිදී නීතිපතිට පැවරෙන බලය පිළිබඳ කොමිෂන් සභා පනතේ 24 හා 26 වගන්තිවල සඳහන් වෙනවා. කොමිෂන් සභා පනතේ 26 වගන්තිය යටතේ නීතිපතිට ඕනෑම කොමිසමකට බලෙන් ඇතුළු වෙන්න පුළුවන්. සාක්ෂි මෙහෙයවන්න පුළුවන්. ඒ සඳහා කොමිෂන් සභා පනතේ 24 වගන්තිය යටතේ නඩු පැවරීමට හැක්කේ පරීක්ෂණ කොමිසමක් සභාව හමුවේ විභාගයට ගත් කරුණු මත පමණි.
එසේම කොමිෂන් සභාවක පැවැත්ම තිබෙන කාලය තුළදී සියලු විමර්ශන අවසන් කරගත යුතුයි. කොමිෂන් සභා බලතල භාවිත කරලා වෙනත් ආයතනයකට පරීක්ෂණ හෝ විමර්ශන කටයුතු සිදු කළ නොහැකියි. කොමිෂන් සභාව අවසන් වූ පසු නීතිපතිට බලතල නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අල්ලස් කොමිසමට විමර්ශන සඳහා පවරන්න. මේක ජනාධිපතිතුමා පත් කරපු කොමිෂන් සභාවක්. බලයකින් තොරව නීතිපති උපදෙස් අනුව 30 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. මෙසේ සිදු කර ඇත්තේ බලය ඉක්මවා ගොසින්. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව මෙවැනි ඉල්ලීම සිදු කිරීම හෝ ඉඩදීම නීතියට පටහැනියි.

ජේ‍යෂ්ඨ රජයේ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියාය.
මෙම නඩුවට අදාළ මුල් බී වාර්තාව කියවා බැලුවහොත් එහි ශීර්ෂයේ සඳහන් වෙනවා. කුමන ප්‍රතිපාදන අනුව මෙම නඩුව පවරා ඇත්ද කියලා.

 

"2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු පිළිබඳව පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය වාර්තාවේ සඳහන් කර ඇති 25 වැනි නිර්දේශය සම්බන්ධයෙන් 2018.01.24 දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයේදී එකී කොමිෂන් සභාව 2017 අගෝස්තු 02 වැනි දින පවත්වන ලද විභාග සැසිවාරයේදී රවි කරුණානායක මහතා විසින් අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට අනාවරණය වී ඇති බව. එසේම 2015 පෙබරවාරි 01 දා සිට 2016 මාර්තු 31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පරීක්ෂණ කොමිසමක් පත් කළ බවත් එම කොමිෂන් සභාව විවිධ විමර්ශනය හා විභාග කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ස්වකීය වාර්තාව ජනාධිපතිතුමා වෙත 2017.12.30 වැනි දින භාර දී ඇති බවත් එම වාර්තාව ජනාධිපති ලේකම්තුමා විසින් 2018 ජනවාරි 30 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව.

ඉන්පසු අදාළ අමාත්‍යවරයා සාක්ෂි සඳහා කැඳවනු ලැබුවා. එහිදී ඔහු විසින් අසත්‍ය සාක්ෂි ලබා දෙන බවට කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. එය රෙකමදාරු 25හි සඳහන් වෙනවා. සාක්ෂි විමර්ශනය කිරීමේදී අදාළ කරුණට පරිබාහිරව සිදු කර ඇති වරදක් බව මෙහි සඳහන් වෙනවා. අදාළ අමාත්‍යවරයා අසත්‍ය සාක්ෂි ලබා දී තිබේ නම් අදාළ ආයතන යටතේ ඊට අදාළ විමර්ශන සිදු කළ හැකි බව මෙහි සඳහන් වෙනවා.
එසේම මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ 109 (05) උපවගන්තියේ (අ) යටතේ, කොමිෂන් සභාවේ කරුණු අධ්‍යයන කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැඟී ගියා මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය සිදු කළයුතු බවට. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ 109 (05) උපවගන්තියේ (අ) යටතේ නඩු කටයුත්ත ආරම්භ කර අපරාධ නඩු විධාන සංග්‍රහ යටතේ පනතේ 120 ප්‍රකාරව කරුණු වාර්තා කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 124 ප්‍රකාරව විමර්ශන සඳහා නියෝග ඉල්ලා සිටියා.

තවදුරටත් අදාළ වාර්තාවේ සඳහන් වෙනවා "2018 ජනවාරි 24 දිනැති ලිපියේ කසුන් පලිසේන, ස්ටීව් සැමුවෙල්, රවි කරුණානායක සහ බී.ජේ.ආර්. සින්නයියා යන පුද්ගලයන් කොමිෂන් සභාව හමුවේ බොරු සාක්ෂි දීමේ වරද සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෑහීමකට පත්වන්නේ නම් එම වරදවල් විෂයෙහි අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඔ1 වැනි ඡේදයේ 109 (05) (අ) වගන්තිය ප්‍රකාරව අපරාධ විමර්ශනයක් ආරම්භ කොට පවත්වාගෙන යන ලෙසට දක්වා ඇත. එසේම සිදුව තිබෙන අපරාධ වරදවල් සංචය නොවන වරදවල් යටතේ ද යන්න පදනම් කොටගෙන වරදවල් සිදු කිරීමට වගකිවයුතු තැනැත්තන් අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට, එසේ කිරීමට ප්‍රථමයෙන් ඔවුන් විසින් සිදු කර තිබේ යැයි විමර්ශන නිලධාරීන් විශ්වාස කරන වරද ඔවුන්ට ප්‍රකාශ කිරීමට ඇති දේ කටඋත්තරයක් ආකාරයට වාර්තා කරන ලෙසටත් තවද එම කටඋත්තරවලින් අනාවරණය වන දේ පිළිබඳ විමර්ශනය කරන ලෙසටත් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවට වාර්තා කර ඇත"
සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් මෙසේ සඳහන් කර සිටියේය.

ඉකුත් සැප්තැම්බර් 14 වැනි දින ලබා දුන් නියෝගයන් වෙනස් කළ යුතුද නැති නම් එම නියෝග තවදුරටත් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතුය. ඒ අනුව මෙම විමර්ශනයට සහාය වීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව ලබා දුන් නියෝග යුක්ති සහගතද යන්න තීරණය කළ යුතුය. නියෝග ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදීමට පෙර දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලිය යුතුය. එම නිසා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව ලබා දුන් නියෝග තාවකාලිකව අත්හිටුවීමට නියම කරනු ඇත.

ඒ බව අදාළ ආයතන වෙත දන්වා යැවීමට අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියම කරනු ලබන අතර මෙම නියෝග සම්පූර්ණයෙන්ම අවලංගු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගයක් ඉදිරියේදී ප්‍රකාශ කරන බවට මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ රවි කරුණානායක බොරු සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කොට ඇති අතර රවි කරුණානායක, මෙලා කරුණානායක, ඔනෙලා කරුණානායක, ඕ.බ්.අ කරුණානායක, අර්ජුන් ජෝශප් ඇලෝසියස්, නීතිඥ සුමතිපාල උඩුගම්සූරිය යන අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට, රවි කරුණානායක, මෙලා කරුණානායක, ඔනෙලා කරුණානායක කරුණානායක, නීල් ද සිල්වා, විජිත විජේසූරිය ‍ෙදාන් ගාල්ලගේ, අනීකා විජේසූරිය යන අය විසින් 2015 ජනවාරි මස 01 දා සිට 2017 අගෝස්තු 02දා දක්වා ඔවුන්ගේ ජාතික හැඳුනුම්පතට හෝ ව්‍යාපාරික ස්ථානයේ නමට දුරකථන සම්බන්ධතා ඇත්නම් ඒවා පිළිබඳ දුරකථන විස්තර වාර්තා ලබා ගැනීමට හා ග්ලෝබල් ට්‍රාන්ස්පොර්ටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම විසින් සිදුකර ඇති ගනුදෙනු පිළිබඳව සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ සම්පූර්ණ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව වෙත ලබා දෙන ලෙසට කර තිබූ නියෝග මෙලෙස අත්හිටුවනු ලැබීය.

සිද්ධියට අදාළ නියෝගය ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon