ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇෆ්ගන් ප්‍රහාරය හමුවේ පාකිස්තානය නූලෙන් බේරෙයි

  👤  3115 readers have read this article !
By mawbima 2018-09-24

අංජන කලුආරච්චි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිවු දෙනාගේ වටය ආරම්භ කරමින් පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කරන්නට ඉන්දියාව හා පාකිස්තානය පසුගියදා (21දා) සමත් විය. ඩුබායි හිදී පැවැති ඉන්දීය-බංග්ලාදේශ තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 173කට සියලු දෙනා දැවී ගියේය. ලකුණු 101කට කඩුලු 7ක් දැවී ඉතාමත්ම අසීරු තත්ත්වයක තිබූ අවස්ථාවේදී මෙහිදි හසන් හා නායක මෂ්රෆි මොටාසා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ. මෙහිදි හසන් ලකුණු 42ක්ද මෂ්රෆි මොටාසා ලකුණු 26ක්ද රැස්කළ අතර පන්දු යැවීමේදී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක්ද බුවනේෂ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් පමණක් වැය කරමින් ලකුණු 174ක ඉලක්කය සපුරාගැනීමට සමත් වූ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 83ක් හා ෂිකර් ධවාන් ලකුණු 40ක් රැස් කළ අතර රවීන්ද්‍ර ජඩේජා තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

මේ අතර අබුඩාබි හිදී පැවැති පාකිස්තාන-ඇෆ්ගනිස්තාන තරගයේදී කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 257ක් රැස්කර ගැනීමට සමත් විය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ හෂ්මතුල්ලා ෂාහිදී නොදැවී ලකුණු 97ක්ද අස්ගර් ඇෆ්ගන් ලකුණු 67ක්ද රැස් කළේය. පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් කඩුලු 3ක්ද තම මංගල එක්දින තරගයට සහභාගි වූ ෂාහීන් ෂා අෆ්රිඩී කඩුලු 2ක්ද බිඳ හෙළීය. ලකුණු 258ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායම පන්දු 3ක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රහණය කළේය.
කෙසේ වෙතත් පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය අතර තරගයේදී පාකිස්තාන කණ්ඩායමේ හසන් අලී සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අස්ගර් ඇෆ්ගන් සහ රෂීඩ් ඛාන් යන ක්‍රීඩකයන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ වරදකරුවන් වීමත් සමඟ ක්‍රීඩකයන් තිදෙනාටම තරග ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් සහ එක් අසාදු ලකුණු බැගින් පිරිනමන්නට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවරගෙන තිබිණි.
ඡායාරූපය-තාරක බස්නායක ඩුබායි නුවර සිට..

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon