7 වසර සිසුවියට පහරදුන් සිද්ධිය ගැන කහතුඩුව පොලිසිය විමර්ශන අරඹයි

  👤  3025 readers have read this article !
By mawbima 2018-09-25

පනාගොඩ -චම්පා ජීවන්ති

පොල්ගස්ඕවිට සියඹලාගොඩ ධර්මපාල විද්‍යාලයේ 7 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන තම දියණියට එම විද්‍යාලයේම භූගෝල විෂය උගන්වනු ලබන ගුරුවරියක විසින් අමානුෂිකව පහරදී ඇතැයි පවසමින් එම දැරියගේ මව කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව කහතුඩුව පොලිසිය පවසයි.

පහරකෑමට ලක් වූ බව කියන 12 හැවිරිදි ශිෂ්‍යාව වෑතර දිසා රෝහලට ඇතුළත්ව එහි ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

පන්ති කාමරයේදී පහරදුන් බව කියන ගුරුවරිය ඉගැන්වීම් කටයුතු කරන අවස්ථාවේදී පහර කෑමට ලක්වූ බව කියන ශිෂ්‍යාව වෙනත් කටයුත්තක නියැළීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරිය විසින් අත මිට මොළවා පිට ප්‍රදේශයට සිදුකළ පහරදීමක් නිසා දැරියට ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවක් මත දැරිය රෝහල් ගත කළ බවට පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය පවසයි. මෙලෙස රෝහල් ගතව ඇත්තේ සියඹලාගොඩ ඕහේනවත්ත ප්‍රදේශයේ පදිංචි සියඹලාගොඩ ධර්මපාල විද්‍යාලයේ 7 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකි.

ඇයගේ තත්ත්වය බරපතළ නොවන නමුත් ඇය විසින් පවසන රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරනු ලබන බව වෑතර රෝහලේ ප්‍රකාශකයකු පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදාළ සියඹලාගොඩ ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසුවාය.

මට ඒ දරුවන් පහරදීමක් සම්බන්ධව පැමිණිලි කළේ නැහැ. නමුත් අදාළ ගුරුවරිය පැමිණ පහරකෑමට ලක්වූ බව කියන දියණිය ඇයගේ විෂය උගන්වන අවස්ථාවේදී වෙනත් වැඩක යෙදුණු බව පැවැසුවා. පසුව මම ඔවුන්ට අවවාද කර යන්න කීවා.

එම දැරිය අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි වාර්තා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කර තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon