හිටපු සහකාර පොලිස් අධිකාරි ඇතුළු විත්තිකරුවන් තිදෙනා යළිත් රිමාන්ඩ්

  👤  2946 readers have read this article !
By mawbima 2018-09-25

මිනුවන්ගොඩ - ටෝනි කේ. අතුකෝරල

ගම්පහ වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී ඉකුත් 2008 වර්ෂයේ අප්‍රේල් මස 06 වැනි දින හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට විරුද්ධව ඇති නඩුව ගම්පහ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ලබන ඔක්තෝබර් මස 25 වැනි දිනට කල් තැබුවාය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකරු වන මොහොමඩ් ඩී. අලිහසන් හන්සාර් අසනීප තත්ත්වයේ පසුවන බවට දැනුම් දී ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මෙසේ නඩු විභාගය කල් තැබිණි.

නඩුවේ විත්තිකරුවන් වන රිමාන්ඩ් භාරයේ සිටින ගම්පහ හිටපු සහකාර පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වන සෙල්වරාජා තිරුකුමාරන් හෙවත් මොරිස් සහ තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් යන විත්තිකරුවන් තිදෙනාවද එදින බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එම විත්තිකරුවන් තිදෙනා ඔක්තෝබර් 25 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු මරාගෙන මැරෙන බෝම්බකරුවකු යොදවා ඝාතනය කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, තවත් පුද්ගලයන් 84 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු අධිචෝදනා 31ක් විත්තිකරුවන් තිදෙනාට විරුද්ධව නීතිපතිවරයා මඟින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මෙම නඩුවේ පළමු සහ 12 වැනි සාක්ෂිකරුවන් වන එවකට සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිමල් රත්නායක සහ ප්‍රසන්න අල්විස් යන නිලධාරීන්ට ඔක්තෝබර් මස 25 වැනිදා සවස 1.30ට ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙරිණි.

මෙම නඩුව ඔක්තෝබර් මස 25 සහ 31ත් නොවැම්බර් මස 08 වැනිදාත් පස්වරු 1.30ට සිට විභාගයට ගැනීමට නියම කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon