දහතුන් වැනි සැකකරු යළිත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

  👤  2884 readers have read this article !
By mawbima 2018-09-25

තෙල්දෙණිය - කේ. නිශ්ශංක

මහනුවර - මහියංගණය ඒ විසි හය මාර්ගයේ වෑතලාව දී පසුගිය ජුනි මස 11 වැනි දින දහවල් කාලයේදී ගිනි අවි පෙන්වා බිය ගන්වා මහියංගණය සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට ගෙන යමින් තිබුණු රුපියල් හයකෝටි පහළොස් ලක්ෂයක පමණ මුදලක් පැහැර ගැනීමේ සිද්ධිය පිළිබඳව තෙල්දෙණිය අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් පසු යළිත් එම දහතුන් වැනි සැකකරු ලබන මස 03 වැනි දින තෙල්දෙණිය අධිකරණයේදී පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ආවරණය කළ වාහනයකින් ඉදිරිපත් කරන ලෙසත් එදින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ශානක කලන්සූරිය මහතා නියෝග කළේය.

දැඩි ආරක්ෂාව යටතේ ආවරණය කළ බන්ධනාගාර බස් රථයකින් ගෙනඑන ලද දහතුන්වැනි සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුව තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ කුමාරි කරල්ලියද්ද මහත්මිය විසින් තෙල්දෙණිය අධිකරණයේදී පැවැත්විණි. සාක්ෂිකරුවන් හය දෙනකු මෙම හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව සිටියත් සාක්ෂිකරුවන් පස්දෙනකු මෙදින අධිකරණයට ඉදිරිපත්ව සිටියේය. හය වැනි සාක්ෂිකරු අධිකරණයට පැමිණ සිටියේ නැත. එම සාක්ෂිකරුවන් පස්දෙනා මෙම හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සැකකරු හඳුනාගනු ලැබීය.

අධිකරණයට ඉදිරිපත් නොවූ හය වැනි සාක්ෂිකරු විසින් මෙම සැකකරු හඳුනාගැනීම සඳහා යළිත් ලබන මස තුන්වැනි දින පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කෙරිණ. පසුගිය ජුනි මස 11 වැනි දින මහියංගණය සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ආරක්ෂක නිලධාරීන් හා බැංකු කළමනාකරුවන් විසින් පෞද්ගලික වෑන් රථයකින් ගෙන යමින් තිබුණු රුපියල් හය කෝටි පහළොස් ලක්ෂ අසූ හත්දහස් හතළිස් අටයි ශත හතළිස් එකක මුදලක් මහනුවර මහියංගණය ඒ විසිහය මාර්ගයේ වෑතලාවදී සන්නද්ධ පිරිසක් විසින් ගිනි අවි පෙන්වා බියගන්වා මෙම මුදල් කොල්ලකා පලාගොස් තිබිණි.

මෙම කොල්ලය පිළිබඳ මධ්‍යම පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ගාමිණී සෙනරත් මහතා හා උප පොලිස් පරීක්ෂක ඒ.එම්.එස්. අත්තනායක මහතා පරීක්ෂණ පවත්වා සිද්ධියට සම්බන්ධ දිවයිනේ විවිධ පළාත්වල පදිංචි සැකකරුවන් හා එම සොර බඩු ළඟ තබාගැනීම පිළිබඳ සැක ‍ෙදාළොස් දෙනකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙම සැකකරුවන් හා සැකකාරියන් ‍ෙදාළොස් දෙනාගෙන් නව දෙනකුට අවස්ථා තුනකදී දැඩි කොන්දේසි මත ඇප ලබාදී තිබෙන අතර තව සැකකරුවන් තිදෙනකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
උඩුදුම්බර පොලිසිය හා පල්ලේකැලේ පොලිස් ස්ථානවලින් හා මධ්‍යම පළාත් විශේෂ විමර්ශන අංශය මඟින් මෙම කොල්ලයට යොදා ගත් වෑන් රථ හතරක් හා යතුරුපැදි ගණනාවක් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

දහතුන් වැනි සැකකරු සමඟ මෙම මංකොල්ලයට යොදා ගන්නා ලදැයි සැක කරන ජීව උණ්ඩ විසිහතක් හා පිස්තෝලයක් ද මෙදින අධිකරණයට ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon