නිරෝධායන සහතිකය නැත්නම් විදේශයෙන් ගෙන එන ශාක සතුන් මස් පලතුරු විනාශ කිරීමට සිදුවෙනවා-රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න

  👤  3006 readers have read this article !
By mawbima 2018-09-25

කටුනායක - ගයා තිරිමාදුර

ශ්‍රී ලංකාවට විදේශ රටවලින් ශාක වර්ග, සතුන්, මස් මාංස මෙන්ම පලතුරු වර්ග ගෙන ඒමේදී ඒවා මිලදී ගත් රටවලින් ගත් නිරෝධායන සහතිකයද අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැති වුවහොත් එම ද්‍රව්‍ය කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ශාක සහ සත්ත්ව නිරෝධායතන නිලධාරීන්ට යොමුකර විනාශ කිරීමට සිදුවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

මෑතක සිට සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු සමාජයේ විවිධ ක්‍ෂේත්‍රවලින් කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන එනු ලබන පලතුරු, ශාක සහ සතුන් පිළිබඳ වැඩි කතා බහක් ඇති වී තිබීම පිළිබඳව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී ඔහු එසේ පැවැසීය.

1999 අංක 35 දරන ශාක ආරක්‍ෂණ පනත, ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්‍ෂලතා ආඥා පනත සහ ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී රේගුව හමුවේ තමන් රැගෙන එන දෑ ප්‍රකාශ කිරීම පිළිබඳව ප්‍රකාශයේදී ඒවා නිසි පරිදි අනාවරණය නොකිරීම පිළිබඳව රේගු ආඥා පනතේ විධිවිධාන සහ අනෙකුත් රජයට සම්බන්ධ රාජ්‍ය ආයතන මත ඇති විවිධ අණපනත් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ බලය පැවරී ඇත්තේද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බවත් එම බලතල මත කටුනායක ගුවන්තොටුපොළේදී මෙසේ නිරෝධායන සහතික නොමැතිව රැගෙන එන ඉහත සියලුම ද්‍රව්‍යයන් අත්අඩංගුවට ගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත නිරෝධායන නිලධාරීන් වෙත යොමු කරන බවත්, ඔවුන් ඒවා ප්ලාස්ටික් ඇසුරුම් වෙත එකතු කර පසුව ඒවා විනාශ කර දමන බවත් හෙතෙම පැවැසීය.

මෙසේ රැගෙන එන ඇතැම් පලතුරු වර්ග එම රටවල වීදිවල තබා ඇති වෙළෙඳසල්වලින් මිලදී ගත් ඒවා වන බැවින්, ඒවා ආහාරයට ගැනීමෙන් ශ්‍රී ලාංකිකයන්ට නොයෙකුත් ලෙඩ රෝග වැලඳෙන බවත්, එම පලතුරු මෙරටට රැගෙන ඒම මඟින් ශ්‍රී ලාංකික වගාවන්ට, එම රටවල පරපෝෂිතයන් සහ දිලීර වර්ග පැතිර යෑමෙන් ඇති වන වගා විනාශයන් වැළැක්වීම මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මේ ආකාරයට විදේශීය පලතුරු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා දේශීය පලතුරු වගාවන් අභාවයට ගොස් ඇති බවද ඔහු පැවැසීය.

බටහිර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල්ද මෙම නීති අකුරටම ක්‍රියාත්මක කරන බවත්, වැරැදීමකින් අප රැගෙන යන පාවහන් යුගලක අප රටේ මඩ පොදක් රැඳී තිබුණහොත් එයටද රේගු නිලධාරීන් තදින් නීතිය ක්‍රියාත්මක කර දඩ මුදල් පවා නියම කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව ඉහත පනත් මඟින් පැවරී ඇති බලතල උපයෝගි කරගෙන, ශ්‍රී ලාංකික ජනතාව විදේශීය විසබීජ, ලෙඩ රෝග සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර, පරපෝෂිතයන්ගෙන් බේරා ගැනීමට සහ ආරක්‍ෂා කිරීමට පියවර ගනිමින් සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon