ජානවලට අදාළව ඔෟෂධ නිර්ණය කිරීමට ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කරනවා

  👤  2918 readers have read this article !
By mawbima 2018-09-25

උදයන්ති මුණසිංහ

බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජානවලට අදාළව ඔෟෂධ නිර්ණය කිරීමට පහසුකම් සැලසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ, ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

එම ඒකකය පිහිටුවීම පිළිබඳ යෝජනාව නව අය - වැය යෝජනාවක් ලෙස එළැඹෙන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ පිළිකා තත්ත්වයන් කලින් අනාවරණය කර ගැනීම සහ කළමනාකරණය, බහු සාධක රෝග, මානසික උෟන වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසීමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සඳහා රෝගියාට ගැළපෙන පරිදි ඔෟෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙන බවයි.

මේ වන විට මෙරට ජාන තාක්ෂණ රසායනාගාර පහක් ස්ථාපිත කොට තිබේ. එම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාළ සියලුම පහසුකම්වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 482ක් වැය වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා තීරණය කර ඇති අතර ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් හත්දෙනකු සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන බවත් එම වෛද්‍යවරුන්ට ඇමෙරිකාවේදී විශේෂ පුහුණුවක් ලබාදීමටද නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාන තාක්ෂණය වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon