සෙසු අර්බුදවලට මුහුණ දුන්නා සේ රුපියලේ අර්බුදයටත් අපි මුහුණ දෙනවා

  👤  2882 readers have read this article !
By mawbima 2018-09-25

පසුගිය වසර කිහිපය තුළ ආණ්ඩුව අර්බුද ගණනාවකට මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහළ යෑමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා නාත්තන්ඩියේදී පැවැසීය.

ඩොලරයේ අගය ඉහළ යෑම රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපා තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මේ අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ පසුගියදා නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

අපේ සම්පත වන්නේ මානව සම්පතයි. ඒ මානව සම්පත ගොඩනැඟීමට නම් අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ සඳහා වැඩිපුර මුදල් වෙන් කරමින් ආණ්ඩුව පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. මුල්ම කාලයේ පාසල්වල දක්නට ලැබුණේ ගල්ලෑලි. අපේ යුගය වන විට එය කොපි පොතයි පෑනයි බවට පත්වුණා. නමුත් අද පාසලට පරිගණකය පැමිණ තිබෙනවා. මේ වෙනස අප හඳුනාගෙන අධ්‍යාපන සැලසුම් සකස් කළ යුතුයි.

කොපමණ ආර්ථික දුෂ්කරතා පැමිණියත් නව ලෝකයත් සමඟ අපේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි වැඩිකර තිබෙනවා. අද ගෝලීය ආර්ථික අර්බුදයක් තිබුණත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු කිරීමක් කරන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.

ගෝලීය ආර්ථික අර්බුදය ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ගැන අපේ අවධානය යොමු කර තිබෙනවා. මේ අර්බුදය ඇතිවුණේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 වසරේදී ඇමෙරිකානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් සහ අනෙකුත් ආයෝජකයන් වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එම මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්ත්වයකට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ඇමෙරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩි වී සීග්‍ර දියුණුවක් ඇති වී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවන් වැය කරනවා. මේ තත්ත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි. මෙතෙක් කල් ඇමෙරිකානු මහ බැංකුව අඩු පොලියට තමා මුදල් ලබා ගත්තේ. නමුත් පසුගිය කාලයේ දෙවතාවක් පොලිය වැඩි කර තිබෙනවා.

මෙහි ප්‍රතිඵල කුමක්ද? ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ, අනෙකුත් රටවල සිටින ව්‍යාපාරිකයන් තමන්ගේ මුදල් දැන් ඇමෙරිකාවට ගෙන යනවා.
මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බුදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි.

මේ තත්ත්වය අපේ රටට පමණක් නොව අනෙකුත් සෑම රටකටම බලපා තිබෙනවා. ඒ අනුව ඉතාලියේ යුරෝ එක 1.3 කින්ද, එංගලන්තයේ පවුමක් 1.3කින්ද, ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.5කින්ද, ඉන්දුනීසියාවේ රුපියා 6.8කින්ද, කොරියාවේ වොන් එක 4.5කින්ද, පිලිපීනයේ පීසෝ 7.5කින්ද, සිංගප්පුරුවේ සහ මැලේසියාව 1.6කින්ද, ඉන්දියාව අපටත් වඩා 11%කින්ද අඩුවී තිබෙනවා. මේ ආකාරයට සෑම රටකම මුදල් අගය අඩුවී තිබෙනවා.
මේ තත්ත්වය මත උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදයට අපි මුහුණ දිය යුතුයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් අෑත් වන්නේ හෝ පලා යන්නේ නැහැ.

මේ ගැටලුවට ලොව අනෙකුත් රටවල් සියල්ල මුහුණ පා සිටි නමුත් ඇමෙරිකාවට ඒ ප්‍රශ්නය නැහැ. මේ පසුබිම තුළ තමා අද අපට වැඩකටයුතු සිදුකිරීමට සිදුව තිබෙන්නේ.

මේ සියලු ප්‍රශ්න මැද තවත් ප්‍රශ්න ගණනාවකට අපට මුහුණදීමට සිදුවේවි. චීනය, ඇමෙරිකාව අතරත් කැනඩාව ඇමෙරිකාව අතරත් මේ වන විට විශාල තීරුබදු යුද්ධයක් ඇතිවී තිබෙනවා. එය කෙසේ අවසන් වෙයිද කියා අපට කියන්න බැහැ. ඇමෙරිකාව චීනයේ භාණ්ඩවලට තීරුබදු පනවනවා. ඒවගේම චීනය ඇමෙරිකාවේ භාණ්ඩවලට තීරුබදු පනවනවා.

මේ තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොළේ බඩු මිල වැඩි වෙනවා.

දැනට උද්ගතව තිබෙන මේ තත්ත්වය තව මාසයක් පමණ පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. ඊට මුහුණ දීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියා අප දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව කිව යුතුයි.
මේ පිළිබඳව මුදල් ඇමැතිතුමා සමඟ ද සාකච්ඡා කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කළා. මොකද ලබන වසර වන විට ණය සහ පොලිය ඩොලර් මිලියන 4000ක් ගෙවිය යුතු තිබෙනවා.

මේ අනුව දෙපැත්තකින් අද අප සිරවී සිටිනවා. කෙසේ වුවත් අපි රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැහැ. මීට වඩා 2012 වසරේදී ඩොලරයේ වටිනාකම 113 සිට 131 දක්වා වැඩිවුණා. ඒ තත්ත්වය හමුවේ ඊට විසඳුම් සෙවීමට එදා පාලකයෝ කටයුතු කළේ නැහැ. ඒ නිසා ජනතාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවුණා. නමුත් අපි එලෙස බලා සිටින්නේ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon