ලැබ්රෝයිගේ ඩබල් ගේම් - ඉදිරියේදී තීරණයක් ගන්නවා ප්‍රධාන විධායක - අෑෂ්ලි

  👤  2970 readers have read this article !
By mawbima 2018-09-25

සිරිනාම රාජපක්ෂ

ආසියානු කලාපයේ ඉහළම ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගි වෙමින් සිටියදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා වෙනත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක තරග තීරක රාජකාරියෙහි යෙදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ප්‍රථම වටයේ මුහුණ දුන් තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව අන්ත පරාජයක් හිමි කරගත් මොහොතේ සිටම මේ දක්වා බැලූ විට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සිටින්නේ
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව ඔහුට පවරා ඇති වගකීම මත කටයුතු කරමින් නොවේ. ඒ වෙනුවට ඔහු අයි.සී.සී. ශූරතා කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරක රාජකාරියෙහි යෙදී සිටියි.

එනම් තරග 8කින් (එක්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 5ක්) සමන්විත මෙරට පැවැත්වෙන ශ්‍රී ලංකා-ඉන්දියා කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලැබ්රෝයි මහතා ඊයේ කොළඹ සී.සී.සී. ක්‍රීඩාපිටියේ පැවැති එම විස්සයි-20 කාන්තා තරගයේදී තරග තීරක රාජකාරියේ නියැළී සිටියේය. තම රටේ ක්‍රිකට් කණ්ඩායම මෙතරම් අවමානයකට ලක්වූ මොහොතක ඒ ගැන නොබලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන රුපියල් ලක්‍ෂ 3ක මාසික දීමනා ලබන අතරතුර අයි.සී.සී. යෙන් තරග තීරක දීමනා ලබා ගනිමින් රට වෙනුවෙන් පවරා ඇති වගකීම පැහැර හරිමින් කටයුතු කිරීම කෙතරම් නීතිය හා සදාචාරය කෙලෙසීමක්දැයි ගැටලුවකි.

ඒ නිසාම මේ සම්බන්ධව ඊයේ (24දා) අප ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතාගෙන් විමසූ අතර, ඔහුද කියා සිටියේ මෙහි යම් වරදක් සිදුවී ඇති බව පෙනී යන බවත්, මේ සම්බන්ධයෙන් කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කොට ළඟදීම විසඳුමක් ලබා දෙන බවත්ය. කෙසේ වෙතත් ඔහුගේ තරග තීරක පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නොව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (අයි.සී.සී.) පවරා ඇති රාජකාරියක් බවද කියා සිටි සිල්වා මහතා "ලැබ්රෝයි කියන්නේ ජාත්‍යන්තර තරග තීරකයෙක් නිසා ඔහුට මෙම රාජකාරිය පවරා තියෙන්නේ අයි.සී.සී.යෙන්.

අපේ දේශීය තරගවලට එයා දමන්නේ නැහැ. මෙහි ළබැඳියාව පිළිබඳව ප්‍රශ්නයක් තිබේ නම් ඒ ගැන මුලින්ම ක්‍රියාමාර්ගයක් ගන්නේ අයි.සී.සී.ය නේ. තවම එහෙම වෙලා නැහැ. කෙසේ වෙතත් මටත් දැන් තේරෙනවා ඔබලා කියන විදියට ආයතන දෙකකින් දීමනා දෙකක් අරගෙන වැඩ කිරීමත් ගැළපෙන්නේ නැහැ. ඒ වගේම ආසියානු කුසලාන තරගාවලියට ඔහුගේ පූර්ණ අවධානය නොතිබූ බවත් පිළිගන්නවා. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේක සාකච්ඡා කරලා ඔහුට විසඳුමක් දෙනවා යනුවෙන්ද කීය.

තවද ලැබ්රෝයි තරග තීරකයා ලෙස කටයුතු කළ එක්දින හා විස්සයි - 20 කාන්තා තරගාවලි දෙකෙන්ම
ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon