වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගන්න ගිය පොලිස් කොස්තාපල්ට පොරොවකින් කොටලා

  👤  2893 readers have read this article !
By mawbima 2018-09-25

පල්ලේබැද්ද - සිසිර පීල්ලදෙනිය

අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පනාමුර පොලිසියේ කොස්තාපල්වරයකුට එම වරෙන්තුකරුගේ සොහොයුරකු විසින් පොරොවකින් පහරදීම නිසා කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව පනාමුර පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පනාමුර පොලිසියේ සේවයේ යෙදී සිටින පොලිස් කොස්තාපල් මාගොල්ලගේ සරත් කුමාර (36129) නමැති තිදරු පියකු බව පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ කොස්තාපල්වරයා සමඟ එම පොලිසියේ සේවයේ යෙදී සිටි පොලිස් කොස්තාපල් කපිලරත්න (40657) යන අය එදින නගරයේ විහාරස්ථානයක පැවැති පෙරහරක රාජකාරියක යෙදී සිටීමෙන් අනතුරුව එම වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීම සඳහා පනාමුර ඇත්ගාල ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි.

එදින රාත්‍රි 9.30ට පමණ වරෙන්තුකරු ඇත්ගාල ප්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානයට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැමිණ ඇත. පසුව වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයට වරෙන්තුකරුගේ සොහොයුරෙක්, සොහොයුරියක් සහ එම සොහොයුරියගේ පුත්‍රයෙක් පැමිණ පොලිස් නිලධාරීන්ට බාධා කළ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේ වරෙන්තුකරු පොලිසිය සමඟ පොරබදමින් පොලිස් ග්‍රහණයෙන් මිදී පලායෑමට උත්සාහ කර තිබේ. නමුත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ ග්‍රහණයට හසුවී සිටි වරෙන්තුකරුට මිදී පලායෑමට අසීරු වී ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේ වරෙන්තුකරුවාගේ සොහොයුරෙක් යැයි කියන පුද්ගලයා එම ස්ථානයට පොරොවක් රැගෙන පැමිණ පොලිස් නිලධාරියාගේ හිසට පහරදී ඇති බවත් එම නිලධාරියා එයින් බරපතළ තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.

තුවාල ලැබූ කොස්තාපල්වරයා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවත් තුවාලකරුගේ තත්ත්වය බරපතළ වූ නිසා එදිනම කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත.
එම පහරදීම සිදු වන අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙක් සතුව පිස්තෝල අවියක් තිබුණු බවත් එහිදී වෙඩි තැබීමක් සිදු කර වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පැවැතියත් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එසේ නොකළ බව පොලිසිය කියයි.

එලෙස පහරදුන් පුද්ගලයා හා වරෙන්තුකරු පලාගොස් ඇති බවත් එම සැකකරුවන්ගේ සොහොයුරියක් හා ඇයගේ පුත්‍රයෙක් පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වරෙන්තුකරු රන් මාල සොරකමක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය අධිකරණයෙන් සිරදඬුවම් ලැබූ අයෙක් බවත් එම පුද්ගලයා අධිකරණය මඟහරිමින් සිටියදී අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බවත් පොලිසිය කියයි. එම වරෙන්තුකරුට පිට ප්‍රදේශවල අධිකරණවලින් පවා නොයෙක් අපරාධ සම්බන්ධයෙන් මේ වන විට නඩු පවතින බවත් පැනගිය පුද්ගලයා සොයා මෙහෙයුම් සිදු කරන බවත් පොලිසිය පැවැසීය.

ඇඹිලිපිටිය පොලිස් අධිකාරි ඒ.ජේ. නන්දන මහතාගේ උපදෙස් මත පනාමුර පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චාමින්ද ජයලත් මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දයාරත්න මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර පොලිස් නිලධාරියාට පහර දුන්නා යැයි කියන ස්ථානයට ඊයේ (24දා) පෙරවරුවේ ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ පොලිස් පරීක්ෂක ඒ.ජී.එම්.සී. ධනවර්ධන, පොලිස් කොස්තාපල් ඒ.ජී.

දිනේෂ් කුමාර (83095) මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ සිදු කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon