සා.පෙළ හා උ.පෙළ විභාග එකවර පවත්වන බව ඇමැති කළ ප්‍රකාශය විහිළුවක්

  👤  3039 readers have read this article !
By mawbima 2018-09-25

උදයන්ති මුණසිංහ

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විද්‍යාපීඨ හා විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම් ප්‍රමාද වී තිබියදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග එකවර පවත්වන බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කර ඇති ප්‍රකාශය විහිළුවක් බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කාලය ගතවීම ඊට එක් හේතුවක් බව දක්වමින් අමාත්‍යවරයා මේ ප්‍රකාශය කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනි දින වනවිට 2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළද එම ප්‍රතිඵලවලට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ දක්වා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර නොතිබීම මේ යෝජනාවට පෙර සොයා බැලිය යුතු තත්ත්වයක් බවත් මෙවැනි ප්‍රමාදයන්ට විසඳුම් සෙවීම වෙනුවට මේ ආකාරයෙන් විභාග වෙනස් කිරීමට යෝජනා කිරීම විහිළුවක් බවටත් ඔහු චෝදනා කළේය.
ලක්ෂ දහයකට ආසන්න සිසුන් පෙනී සිටින විභාග එකවර පැවැත්වීමේ හැකියාව මුලින්ම විමසීමට ලක්විය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

එසේම උසස් පෙළ විෂය මාලාව දැනට සකස් වී ඇති රාමුව මෙන්ම පාසල් වාර නිවාඩුවද දීර්ඝ වීම යන බරපතළ ගැටලු මේ යෝජනාව තුළින් මතුවන බවත්, මෙවැනි කඩිමුඩි යෝජනා මඟින් අධ්‍යාපන පද්ධතිය ව්‍යාකූලත්වයට පත්වන අතර මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමට පෙර ජාතික අධ්‍යාපන කොමිසම, අධ්‍යාපනඥයන්, විශ්වවිද්‍යාල ප්‍රජාව, අධ්‍යාපන වෘත්තීය සමිති ආදී සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් විමසිය යුතු බවත් ඔහු පැවැසුවේය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සමහර සිසුන් සාමාන්‍ය පෙළ අසමත් විෂයයන්ට පෙනී සිටින තත්ත්වයක මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත් ඔවුන්ට බලවත් අසාධාරණයක් වන බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව විභාග පවත්වන කාලය වෙනස් කිරීමේ යෝජනාව ගෙන ඒමට පෙර විභාග ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු වසර ගණන් ප්‍රමාද වී විද්‍යාපීඨ සහ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බව ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon