රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූවොත් ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාවි

  👤  2870 readers have read this article !
By mawbima 2018-09-25

ආරියරත්න ගනේගොඩ

රුපියල දිගින් දිගට අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හඳුන්වා දී ඇති මිල සූත්‍රය අනුව සෑම මසකටම වරක් ඉන්ධන මිල සංශෝධනයක් කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සැප්තැම්බර් 10 වැනිදා අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණු අතර ඔක්තෝබර් 10 වැනිදා ඉන්ධන මිල නැවත සංශෝධනය කිරීමට නියමිතව තිබේ. එහිදීද ඉන්ධන මිලෙහි වැඩිවීමක් මිස අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ‍යෂ්ඨ කථිකාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි. රුපියලේ කඩා වැටීම හේතුවෙන් තෙල් මිල පමණක් නොව තෙල් ප්‍රවාහන මිල, පිරිපහදු මිල ගණන් පවා ඉහළ යන තත්ත්වයක් දැකගත හැකි බව ඔහු සඳහන් කළේය.

රුපියල අව ප්‍රමාණය වීම නිසා ආනයන භාණ්ඩ මිල ඉහළ ගියද අපනයනකරුවන්ට මෙය සුබදායී තත්ත්වයක් බව ඇතැම් අය පෙන්වා දුන්හ. සෑම අපනයනකරුවකුටම එම වාසියද හිමි නොවන බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.

කිසියම් රටක මුදල් ඒකකය දිගින් දිගටම අව ප්‍රමාණය වීම අයෝජකයන් අධෛර්ය වීමට හේතුවක් වන බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කෙළේය. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඉකුත් සිකුරාදා ගනුදෙනු නිමවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සඳහන් වූයේ රුපියල් 170යි ශත 65ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල් 166යි ශත 78ක් වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon