ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සීගිරිය 27දා අලුයම 5.00 සිට විවෘතයි

  👤  2294 readers have read this article !
By mawbima 2018-09-26

දඹුල්ල - කේ.කේ. ආරියදාස

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ලබන 27 වැනිදා අලුයම පහේ සිට සීගිරිය නැරඹීම සඳහා විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කොට තිබේ.
දෙස් විදෙස් සංචාරකයන් සඳහා ලෝක සංචාරක දිනය වූ 27 වැනිදා අලුයම පහට සීගිරි ගල මතට නැඟ ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කර දීම මෙහි අරමුණ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවැසීය.

ලෝක සංචාරක දිනය සැමරීම වෙනුවෙන් සීගිරියේ උත්සව කිහිපයක් සංවිධානය කොට තිබේ.

එහිදී ජංගම දුරකතන සඳහා නවතම (ථධඡඪතඥ චනන) පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිතව තිබේ.

එහිදී කරනු ලබන්නේ එම මෘදුකාංගය ලබාගැනීමෙන් පසු සීගිරිය ඇතුළත ඇති ඕනෑම ස්ථානයක ගොස් එහි ඇති රහස් අංකය ජංගම දුරකථනයේ සඳහන් කළ විගස එම ස්ථානයේ ඓතිහාසික සිදුවීම් හඬපට ප්‍රචාරය වීමය.
එමෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ඉදිකරන ලද ඔෟෂධීය ඔසු උයන විවෘත කිරීමද මෙහිදී සිදුකෙරේ. ලබන 27 වැනි දින අලුයම 5.00ට සීගිරිය විවෘත කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුව සීගිරිය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන්ගෙන් විමසීමේදී කියා සිටියේ මේ වනතුරුත් මධ්‍යම සංස්කෘතික අරමුදල තම කාර්යාලය ඒ පිළිබඳව දැනුවත් කොට නැති බවය.

මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු යැයිද එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ලබන 27 වැනිදා අලුයම පහට සීගිරි පව්වට නැඟීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති නිසා උදේ හත වනතුරු ඇතුළු වීම සඳහා අවසරයක් දීමට නොහැකි යැයි හෙතෙම සඳහන් කළේය.

ඒ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ එකම අමාත්‍යාංශයක පවතින ආයතන දෙකක් බැවින් මෙම සංචාරක දිනය සැමරීම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතින් සිදුකෙරෙන එකක් බවය. ඒ අනුව පුරාවිද්‍යා අංශ නිලධාරීන් ඉහළින් දැනුම් දෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon