රුපියලේ අගය කඩා වැටීම නිසා ආණ්ඩුව ගලේ පැහැරූ බළලා වගේ වෙලා

  👤  2409 readers have read this article !
By mawbima 2018-09-26

රුපියලේ අගය කඩාවැටීම ගැන නිසි විසඳුමක් ආණ්ඩුවට නැතිවා සේම එමඟින් ආණ්ඩුව තැන තැන ගලේ පැහැරූ බළලාගේ තත්ත්වයට පත්ව ඇතැයි ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

ජවිපෙ නායකයා පැවැසුවේ නව ආර්ථික ප්‍රතිපත්තියට ජනතාවට සිය විරෝධය පළ කිරීමට රුපියල කඩා වැටීම හොඳ සංඥාවක් බවයි.

අනුර දිසානායක මහතා එහිදී මෙසේද කීය.

හිටපු පාලකයන් වගේම වත්මන් පාලකයන් කටයුතු කරන්නේ තමන්ගේ දරුවන්ට අනාගතය හදන්න අවශ්‍ය පසුබිම හදාගන්න එකයි. එක් පාර්ශ්වයක් එක වරෙක ගෝල් එක දිනනවා. අනෙක් පාර්ශ්වය ඊළඟ ගෝල් එක දිනනවා. ජනතාවත් හිතනවා මැච් එක දිනුම් කියලා. එහෙම නැතිව රට දියුණු කරන දිගුකාලීන ආර්ථික උපාය මාර්ග මේ මහත්තුරුන්ගෙන් අපේක්ෂා කිරීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ.
රටේ මොනවා හරි නිෂ්පාදන හා සේවා ටිකක් ඉතිරි වී තිබෙනවා නම් ඒ ටිකත් විදෙස් සමාගම්වලට විවෘත කරන්නයි මේ නායකයෝ හිතන්නෙ. රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නෙ හාම්පුතුන් වෙනුවෙන් මිස මේ රට වෙනුවෙන් නෙවේ. එට්කා, සිංගප්පූරු, පාකිස්තාන ගිවිසුම්වල තියෙන්නෙ එකම අරමුණ.

ජනතාවගේ ඡන්දයෙන් තේරුණාට ඔවුන් නියෝජනය කරන්නෙ විදේශීය සමාගම්වල වුවමනාවන්.

මහින්ද රාජපක්ෂ චීන සමාගම්වලින් මුදල් ගත් බවත් ඔප්පු වුණා. තව මොන සාධකද?

දිසානායක මහතා මේ බව පැවැසුවේ ඊයේ (25දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ මෙසේය.

මේ වසර අවසන් වන විට එය ඩොලරයක් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රු. 200ක අගයක් විය හැකි බවයි.

ආර්ථිකයේ එක් ක්‍ෂේත්‍රයක ඇති වී තිබෙන අර්බුදය තමයි රුපියල කඩා වැටීමෙන් පෙන්නුම් කරන්නේ. ජනතාවට එදිනෙදා ලබාදෙන සහන කප්පාදුව, බඩුමිල ඉහළයෑම, තෙල්, ගෑස් ආදී සියලු පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යෑම රුපියල කඩා වැටීම මඟින් වෙනවා. එහි ප්‍රතිඵලය ජනතාවට බරපතළ පීඩාවකට ඇදදමන ආර්ථික අර්බුදයක්. ආණ්ඩුව තර්කයක් ගොඩනඟමින් තිබෙනවා ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල අවප්‍රමාණය වන බවට. එහි අර්ධ සත්‍යයක් තිබෙනවා. යම් ප්‍රමාණයකට ලෝක වෙළෙඳපොළේ ඩොලරය ශක්තිමත් වී තිබෙනවා. එහෙත් අපේ මුදල් ඒකකය කඩා වැටී තිබෙන්නේ ඩොලරයට සාපේක්ෂව පමණක් නෙවෙයි.

එම නිසා ඩොලරය ශක්තිමත් වීම නිසා පමණක් රුපියල අවප්‍රමාණය වෙනවා කියන තර්කය වැරැදියි. අප අනුගමනය කරන වැරැදි ආර්ථික ප්‍රතිපත්තියත් මෙම කඩා වැටීමට හේතු වී තිබෙනවා. අපේ රට වසර 10ක් පාලනය කළ හිටපු ජනාධිපති හා හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු රුපියල කඩා වැටීම ගැන නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමේදී කියන්නේ බලය ලබාගත් විට එය විසඳන බවයි. ඒක හරියට ඇලඩින්ගේ පුදුම පහන තමන් ළඟ තියෙනවා වගේ කතාවක්. මෙතෙක් අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ අසාර්ථකභාවය මෙම ආර්ථික අර්බුදයට හේතු වී තිබෙනවා. පවතින පාලනය වගේම පැවැති පාලනයන් ඍජුවම මෙම අර්බුදයට වගකිව යුතුව තිබෙනවා. අද මුළු මහත් ජනතාවට වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ එම වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය නිසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල් කඩා වැටීමට හේතු ගණනාවක් තිබෙනවා. අපේ රටට භාණ්ඩ ආනයනය වෙනුවෙන් ඩොලර් බිලියන 20ක අවශ්‍යතාවක් තිබෙනවා. වසරකට භාණ්ඩ විකිණීමෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 10යි. අපේ වසරකට වෙළෙඳ ශේෂය 100%ක්. අපේ පාලකයන් අපේ රට ගෙනැත් තියෙන තැනයි මේ. 2018, 2019, 2020 යන වසරවල් තුනට වසරකට ඩොලර් බිලියන 4 බැගින් ණය ගෙවීමට අවශ්‍යව තිබෙනවා.

එම නිසා භාණ්ඩ ගෙන්වීම සඳහා සහ ණය ගෙවීම සඳහා මෙම වසරේ ඩොලර් බිලියන 24ක් අවශ්‍යයි. ඒත් භාණ්ඩ විකිණීමෙන් අපට ලැබෙන්නේ ඩොලර් බිලියන 10යි. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලරි බිලියන 7යි, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 1.5යි. ඒ කියන්නේ අපේ අතේ තිබෙන්නේ ඩොලර් බිලියන 18.5යි. එහෙත් ඩොලර් බිලියන 24ක අවශ්‍යතාවක් තිබෙනවා. ඩොලර්වල සැපයුම අඩුවී තිබෙනවා. ඉල්ලුම වැඩි වී තිබෙනවා. එම නිසා ඩොලරයක මිල ඉහළ යනවා. සරල ආර්ථික විද්‍යාව එයයි. එය ඩොලරයේ අගය ඉහළ යෑමට ප්‍රධානතම හේතුවයි.

1977දී අපට තිබුණා ධන වෙළෙඳ ශේෂයක්. අද එය 100%ක හිඟයක් වාර්තා කරනවා. මීට හේතු වෙන්නේ අපි අපේ ඩොලර් උපයන මධ්‍යස්ථාන අත්හැරීමයි. වරාය කියන්නේ ඩොලර් උපයන ප්‍රධාන තැනක්. අද තෙල් වෙළෙඳපොළෙන් 1/3ක ලාභය උපයන්නේ අයි.ඕ.සී. සමාගමයි. අනෙක් පැත්තෙන් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය කරන රාජ්‍යයක් බවට අපි පත් වී තිබෙනවා.
එම නිසා ආනයන වෙනුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් රටෙන් වැය වෙමින් තිබෙනවා.

70 දශකය වන විට අපට තේ, පොල්, රබර් ආර්ථිකයක් තිබුණා. ලෝක වෙළඳපොළේ වෙනස්වන ඉල්ලුමට අනුව අප වෙනස් විය යුතුව තිබුණා. එවැනි දැක්මක් පාලකයන්ට තිබිය යුතුව තිබුණා. අපේ මුළු අපනයන වෙළෙඳපොළම හැකිළුණා. දිගු කාලීන ලෙස අපි අනුගමනය කරන ලද වැරැදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස අපේ රුපියල කඩා වැටෙමින් තිබෙනවා. මෙතෙක් රට පාලනය කරපු සියලු නායකයන් මෙයට වගකිව යුතුව තිබෙනවා.

රුපියල කඩා වැටීම නැවැත්වීම සඳහා අපිට දිගු කාලීන හා කෙටි කාලීන ක්‍රමවේද සැකසිය යුතුව තිබෙනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon