පූජීතව දිගටම පොලිස්පති පුටුවේ තබාගෙන ඡන්ද කොල්ලයකට ආණ්ඩුව සැරසෙනවාදැයි සැකයි

  👤  2424 readers have read this article !
By mawbima 2018-09-26

ජන බලයක් නැති ආණ්ඩුවේ එජාප පාර්ශ්වය බරපතළ චෝදනා එල්ල වී ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් පුටුවේ තබාගැනීමට සියලු උත්සාහයන් දරන්නේ "2019 පවත්වනු ලබන ජාතික මැතිවරණයකදී ඔහුගේ සහායෙන් කුමන්ත්‍රණකාරී ලෙස ජය ගැනීමටද?"

යන බලවත් සැකය මතුවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ඊයේ (25දා) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මෙසේ පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

බරපතළ අපරාධ සැලසුමක්, එනම් රටේ රාජ්‍ය නායකයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට සකස් කළ සැලසුමක් නාමල් කුමාර නමැත්තකු විසින් හෙළිදරව් කර සති 02ක් ඉක්ම ගොස් තිබෙනවා. මෙම ඝාතන සැලැස්ම සැකසූ බව පැවැසෙන ත්‍රස්ත විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා, නාමල් කුමාරගේ චෝදනා ප්‍රතික්ෂේප කළා. නමුත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පිළිගනු ලැබුවා නාමල් කුමාර කියන්නේ ප්‍රබල පොලිස් ඔත්තුකරුවකු බව. ඒ නිසා නාමල් කුමාර පැවැසූ කරුණු සුළුකොට තකන්න කිසිසේත්ම බැහැ.

නමුත් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය සහ පොලිස්පතිවරයා මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සඳහා තිබෙන ඉඩකඩ සෑම අතකින්ම අහුරමින් සිටින බව පෙනෙනවා.

අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බරපතළ චෝදනා එල්ල වී ඇති නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අඩුම තරමින් අනිවාර්ය නිවාඩු යැවීමටවත් පොලිස්පතිවරයා කටයුතු කළේ නැහැ. මුලින් සිදුකළේ මේ පරීක්ෂණවලට ඉතා වැදගත්, පොලිස් තොරතුරු තාක්ෂණ අංශයට නාලක ද සිල්වා ප්‍රධානියා ලෙස පත් කිරීම. පසුව ඒකාබද්ධ විපක්ෂයෙන් සහ ජනතාවගෙන් එල්ල වූ බලපෑම් මතයි ඔහුව අනිවාර්ය නිවාඩු යැව්වේ. මේ බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පසුව නාලක ද සිල්වා, පොලිස්පතිවරයා සමඟ කැලණිය රජමහා විහාරයේ බෝධිපූජා පිංකමක් පැවැත්වූ බව මාධ්‍ය මඟින් අනාවරණය කළා.

නාලක ද සිල්වා පවසා තිබෙන්නේ "අපි අගමැති පුම්බන්න ඕනි" කියලයි. ජනාධිපති ඝාතනයකින් පසුව රටේ වැඩ බලන ජනාධිපති වන්නේ කවුද? අගමැතිවරයා. සැඟවුණු න්‍යාය පත්‍රයක් නැතිනම් මේ ජනාධිපති, හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැත පිළිබඳ පරීක්ෂණ අඩාල කිරීමට එජාපයට වුවමනාවක් නැහැ. 2019 කියන්නේ ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත වර්ෂයක්. මේ ආණ්ඩුවට කිසිදු ජන බලයක් නැහැ කියා 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයේදී ඔප්පු වුණා. ඒ නිසා ඉදිරියේදී පවත්වන ඕනෑම මැතිවරණයකදී එජාපයට තියුණු පරාජයක් හිමිවන බව පැහැදිලයි. ඒ නිසා "ජනපති "ඝාතන චෝදනා, මූල්‍ය වංචා පිළිබඳ චෝදනා, ප්‍රභූ ඝාතනයන් සඳහා යොදාගත හැකි ස්නයිපර් අවි අතුරුදන්වී මේ චෝදනා එල්ල වී ඇති පොලිස්පතිවරයා එජාපය විසින් රකින්නේ ජන බලවේගයක් නැති තමන්ට 2019 පවත්වන මැතිවරණයකින් කුමන්ත්‍රණකාරී ලෙස දිනන්න අවශ්‍ය ඉඩ හදාගන්නද? යන පැනය අපට ඇතිවෙනවා.

පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූරියවැව දී පවසා තිබුණා "ආනයනය මත තීරු බදු පනවා අතිරේකව ඩොලර් මිලියන 500-1000 අතර මුදලක් උපයා ගන්නට බලාපොරොත්තු වෙනවා" කියලා. ආනයනික ඇපල්, ‍ෙදාඩම්, මිදි ආදියට තීරු බදු පනවා මෙපමණ මුදලක් උපයා ගන්න බැහැ. එහෙනම් ආනයනික ඔෟෂධ, පෙට්රල්, ඩීසල් මත තමයි මේ අතිරේක තීරු බදු පැනවීම සිදුකළ යුත්තේ. මේ අනුව පැහැදිලියි "ආණ්ඩුව පෙට්රල්, ඩීසල්, ඔෟෂධ ආනයනයේදී අතිරේක බදු ප්‍රමාණයක් ගසන්නයි යන්නේ" කියලා. මේ අනුව ඉදිරියේදී ඒවායේ මිල දැරිය නොහැකි තත්ත්වයකට පත්වේවි.

එහෙම නැත්තම් පෙට්රල්, ඩීසල්, ඔෟෂධ ලබාදෙන ප්‍රමාණය සීමා කරන්න සිදුවේවි. ආනයනය සීමා කළොත් පෙට්රල්, ඩීසල්, ඔෟෂධ ජනතාවට ලබා දීමත් සීමා කරන්න සිදුවෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා "දැන් ඔයාලා සූදානම් වෙන්නේ පෙට්රල් පොලු, ඩීසල් පොලු දාන්නද? කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon