මේ ආර්ථික අර්බුදයට හොඳම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවාහැර ඡන්දයකට යෑමයි

  👤  2286 readers have read this article !
By mawbima 2018-09-26

රුපියල ස්ථාවර කර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුම් සකස් කරනවා වෙනුවට ආණ්ඩුව නිදහසට කරුණු ඉදිරිපත් කරන බවත්, මෙම බරපතළ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දිය හැකි හොඳම විසඳුම වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම බවත්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ආණ්ඩුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ සඳහා කොන්දේසි විරහිතව සහාය දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවද මන්ත්‍රිවරයා කීය.
ඊයේ (25දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වීම නිසා ලංකාවේ ආර්ථිකය දුර්වල වන බව ආණ්ඩුව කියනවා. රුපියල ස්ථාවර කරලා ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සැලසුම් සකස් කරනවා මිස ආණ්ඩුව නිදහසට කරුණු කියනවා. තමන්ගේ නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම නිසා ඇමෙරිකානු ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ බව මහ බැංකුව ආණ්ඩුවට දැනුම්දී තිබෙනවා. නමුත් ඒ තත්ත්වයට මුහුණදීමට අපේ රජයේ කිසිම සූදානමක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් සඳහා මුහුණ දීමට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ.

මුළු ලෝකයම දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මොහොතකදී මහින්ද රාජපක්ෂ මහතා රට භාරගත්තා. ලෝක ආර්ථිකය කඩාවැටුණත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ ආර්ථිකය කඩා වැටෙන්න දුන්නේ නැහැ. ඒ ආණ්ඩුවේ තිබුණ නිවැරදි ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙළ නිසා ජනතාවට ජීවන බරක් දැනුණේ නැහැ. පසුගිය දස වසරක පාලන සමයේදී ඩොලරය අවප්‍රමාණය වීමේ වේගය සියයට 2.9යි. මේ ආණ්ඩුව බලයට පත්වෙලා අවුරුදු තුනහමාරයි. ඒ කාලයේදී රුපියල අවප්‍රමාණය වීමේ වේගය වසරකට සියයට 8.2යි.

ජනතාව ආනයන වියදම් හා තමන්ගේ අනෙකුත් වියදම් සියල්ලම පාලනය කරගතයුතු බව ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පවසනවා. ජනතාවගේ පරිභෝජන කටයුතු සඳහාත් ආණ්ඩුව අද මැදිහත් වෙනවා. ආණ්ඩුවට එක ප්‍රතිපත්තියක් නැහැ. දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ වගේ එක නායකයෙක් කරන දේ අනිත් නායකයා දන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පරිපාලනය අන්තිම අකාර්යක්ෂමයි. මංගල සමරවීර මුදල් ඇමැතිවරයාට හෝ අගමැතිවරයාට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන කල්පනාවක් නැහැ. මේ ගැටුම් නිසා ආර්ථිකය කළමනාකරණය කරගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් ලැබෙන්නෙත් නැහැ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ ණය බර අමතරව රුපියල් බිලියන එක්දහස් තුන්සිය අනූදෙකකින් වැඩිවෙලා. මේ නිසා රටේ ණය බර තවදුරටත් වැඩිවීමේ අවදානමක් තිබෙනවා.
ආර්ථිකය ස්ථාවර කර රට සංවර්ධනය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. තමන්ට රට පාලනය කළ නොහැකි නම් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආණ්ඩුව භාරදීමට වත්මන් පාලකයන් කටයුතු කළ යුතුයි. එසේ වුවහොත් ඉදිරි කාලයේදී හෝ ජනතාවට සුබවාදී යුගයක් උදාවේවි.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
ආණ්ඩුව මොනදේ කිව්වත් අපේ රටේ ආර්ථිකය මෙතරම් අර්බුදයකට ලක්වුණේ මහ බැංකු බැඳුම්කර වංචාව නිසයි. ඒ ඇත්ත හංගන්න බැහැ. අපි ගිනිපෙට්ටියේ සිට මිනී පෙට්ටිය දක්වාම ආනයනය කරන ජාතියක්. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ර¼දාපවතින්නේ ආනයනය මතයි. හාල්, පොල්, තේ, ගම්මිරිස්, කුරුඳු අපනයනය කළ අපි දැන් ඒ සියල්ලක්ම ආනයනය කරනවා. ඒ නිසා ආනයන වියදම ඉහළ යෑම නිසා සියලුම බඩු භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා. ඒ නිසා නොසිතූ අන්දමේ මිල පීඩනයකට ජනතාව ලක්වෙලා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon