නිවී සැනසිල්ලේ ඇස් පියාගන්නට පොඩි කාමරයක් හදා දෙන්න

  👤  2283 readers have read this article !
By mawbima 2018-09-26

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය

හෘද රෝගයෙන් හා වකුගඩු රෝගයෙන් දුක් විඳින රෝගියකුට කුසට අහරක් සොයා ගත නොහැකිව කුසගින්නේ සිටිද්දී, ඉන්න හිටින්නට හරිහමන් තැනක් නොමැතිව, අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් පැල්පතක සිටිද්දී, රජයෙන් ලබාදෙන සමෘද්ධිය හෝ නියං සහනාධාර ඔහුට නොලැබෙද්දී, ඔහුගේ දුක, කඳුළ සුසුම් පිළිබඳ සටහනක් තබන්නට වෙන්නේද කඳුළින්ම මිස අන් කවරකින්ද?

දුකම වළ¼දා කඳුළු බොන මේ අසරණ මිනිසා අපට හමුවන්නේ කැබිතිගොල්ලෑව මාවතවැව ගමෙනි. පනස්හත් වැනි වියේ පසුවන ඔහු නමින් හීනාගේ ජයසිංහ නම් වේ. පාසල් ගොස් ඇත්තේ දෙක වසරට පමණි.
බිරිය හා දරුවන් ඔහුගෙන් වෙන්වී අවුරුදු 15ක් පමණ වන බවද කිසිවෙක් ඔහු දෙස නොබලන බවද ඔහු කියයි. 2000 වර්ෂයේදී හෘද රෝගය වැලඳී එතැන් පටන් අනුරාධපුර මහ රෝහලේ සායනවලට මාසයකට හතර පස් වතාවක් යෑමට සිදු වන බවත් ඒ සඳහා ගමන් ගාස්තු වෙනුවෙන් රුපියල් 4000ක් පමණ වැය වන බවත් ඔහු කීය.

මීට වසර දෙකකට පෙර වකුගඩු මාරයා ඔහු සොයා පැමිණියේය. එතැන් පටන් මොහු රෝග දෙකෙන්ම බැට කමින් ජීවිතයට මුහුණ දුන්නේය.

ජයසිංහ නමැති මේ අසරණ රෝගියාගේ ශරීරය දෙස බලන කල්හී, ඕනෑම අයකුගේ පපුව පත්තු වේ. ඔහු ජීවත්වන නිවෙසේ බිත්ති ආවරණය කර ඇත්තේ දිරාගිය තහඩු කෑලිවලිනි. මේවා අස්සෙන් රාත්‍රි කාලයේදී හබරල්ලු හා මාපිල්ලු ගෙට ඇතුළු වූ වාර බොහෝ ඇතැයි ඔහු පවසයි.

වහල ආවරණය කර ඇත්තේද ඉටි රෙද්දක් හා දිරාගිය පොල් අතු කීපයකිනි.

මේ අසරණ රෝගියා සමාජයෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි. එනම් ඔහුට නිවි සැනසිල්ලේ ඇස්දෙක පියාගන්නට එක කාමරයක් සාදා දෙන ලෙසටය. එසේත් නැති නම් වහලට ටකරං තහඩු කෑලි කිහිපයක් ලබා දෙන ලෙසය.
සිරුරේ ඉළ ඇට උඩට මතුවී ඇති ඔහුගේ දැලි කුණුවලින් පිරුණු එකම සරම් කඩමල්ල ඉණෙහි පටලවාගෙන, අරමුණක් නොමැතිව බිම ඇන තියාගෙන, කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහු කියා සිටියේ, දවස් එකහමාරක් තමන් කුසගින්නේ සිටි බවයි. ඉක්බිතිව අප ඔහු කියන දෑ අසා සිටියෙමු.

"මම දවස් දෙකේ තුනේ කන්ඩ නැතුව ඉන්නවා. එහෙම දවස්වලට කහටගොල්ලෑවේ ධනපාල අයියා මට හාල් දෙනවා. මට සමෘද්ධිය නෑ. නියං සහනාධාරේ නෑ. වකුගඩු ආධාර මුදල් පපුවේ අමාරුවට ක්ලිනික් යන්න බස් කුලියට වියදම් වෙනවා. මම ග්‍රාම සේවකගෙනුයි දිසාපතිතුමාගෙනුයි නියං සහනාධාරයි සමෘද්ධියයි ඉල්ලුවා. මට කුඹුරු ඉඩකඩම් නැති නිසා දෙන්න බෑ කිව්වා. මම හෙට අනිද්දා කෑම නැතුව මේ ගේ ඇතුළේම මැරිලා කුණුවෙලා යයි. මං වගේ අසරණයකුට සමෘද්ධියයි - සහනාධාරයි නොදීපු නිසා සිදුවුණු මරණයක් කියලා පත්තරේ දාන්න මහත්තයෝ " යැයි කියමින් හඬන්නට විය.

එක කාමරයක් හෝ සාදා දෙන්න යැයි සමාජයට ආයාචනය කරන මේ අසරණ මිනිසාගේ කතාවේ ප්‍රශ්නාර්ථයක් අපට ඉතිරි කර ඇත. එනම් සමෘද්ධිය හා සහනාධාර මොහුට හිමි නොවුණේ ඇයි යන ප්‍රශ්නයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon