විවාහය අතපසු වී අසරණ වූ තිදෙනකු පදිංචි නිවෙස අලුත්වැඩියාවට උදවු පතති

  👤  2363 readers have read this article !
By mawbima 2018-09-26

දමුණුපොළ - චමින්ද ජයලත්

විවාහ ජීවිතය කියන්නේ මනුස්සයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් යැයි කීම නිවැරැදියි. විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින යෞවන යෞවනියන් සිය කඩඉම ජය ගැනීමෙන් පසු සිය අරමුණ කරා ළඟා වෙමින් පල නෙළා ගැනීමට වෙහෙස මහන්සි වෙති. එයින් අතළොස්සකගේ විවාහ ජීවිත සාර්ථක වෙයි. තවකෙකුගේ අසාර්ථක වෙයි. සමහරුන්ගේ විවාහ වන කාලය අතපසු වී ගිය විට ඔවුහු මිය යනතුරුම මුළු ජීවිත කාලයම අවිවාහකව අඳුරු ජීවිතයක්ද ගත කරති.

දැදිගම මැතිවරණ කොට්ඨාසයේ මහපල්ලේගම ග්‍රාමයේ එකම පවුලේ වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙක් හා එක් පුද්ගලයෙක් නියමිත වයස් කාලයේදී විවාහ නොවී දිනකට මිශ්‍ර වෑංජනයක් සමඟ බතක් උයාකමින් අසරණව සිටින අයුරු දැන ගැනීමෙන් පසු ඔවුන්ගේ නිවෙස සොයා අප කෑගල්ල, නෙළුන්දෙනිය හරහා මහපල්ලේගම ග්‍රාමය වෙත ගියෙමු.

නෙළුන්දෙණිය - ගලපිටමඩ ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 08ක් පමණ පසුකළ විට මහපල්ලේගම මහා විද්‍යාලයට පිවිසෙන මංසන්ධිය හමුවේ. එම මංසන්ධියෙන් වමට ඇති කැඩී බිඳී ගිය මාර්ගය දිගේ මීටර් 500ක් පමණ කන්ද තරණය කළ විට මේ වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා හා පුද්ගලයා පදිංචිව සිටින නිවෙස හමුවෙයි.

මහපල්ලේගම ග්‍රාමයේ බොහෝ පිරිසක් දෙමහල්, තෙමහල් නිවාසද සාදාගෙන විවිධ රැකියා කරමින් ජීවත් වෙයි. තව බොහෝ පිරිසක් කුඹුරු ගොවිතැන් ඇතුළු විවිධ වගාවන් කර අනුන් හට කරදරයක් නොමැතිව ජීවත් වෙන අයුරුද පෙනේ. එහෙත් මිනිස් ඇසුරක් නැති ගෙයින් එළියට නොබසින මාසිකව රුපියල් තුන්සිය පනහක මහජන ආධාරයෙන් හා ග්‍රාමයේ පරිත්‍යාගශීලී කිහිප දෙනකු පරිත්‍යාග කරනු ලබන වියළි හා පිසුණු ආහාර ගෙන මෙම වයෝවෘද්ධ තිදෙනා අඩක් නිම කළ නිවෙසේ සිය ජීවිතය ගැට ගසා ගන්නා අයුරු අපට දැක ගන්නට ලැබිණි.

මහපල්ලේගම ග්‍රාමයේ විවිධ සමිති සමාගම්වලින් මෙම තිදෙනා පදිංචිව සිටින අතු පැල වෙනුවට ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදිකර දී උළු සෙවිලි කර දී තිබිණි. පසුව රිළවුන්ගෙන් දිනපතා සිදුවන හානිය හේතුවෙන් වහලය අබලන්වී තිබුණු අතර ලී දඬු දිරා යෑමත් සමඟම අබලන් වීමෙන් පසු මීට මාස 06කට පමණ ඉහතදී ග්‍රාමයේ තරුණ ප්‍රජාව එක්වී නිවෙස ඇතුළත සුද්ද පවිත්‍ර කර වහලය සකසා උළු සෙවිලි කරදීමට කටයුතු කළ බව නිවෙසේ හිමිකාරිය වන ගල්ලත් රාලලාගේ පොඩිමැණිකේ මහත්මිය (අවු. 83) අප සමඟ ප්‍රකාශ කළාය.
මෙම කාන්තාවන් දෙදෙනා හා පුද්ගලයා මෙන්ම ඔවුන් පදිංචිව සිටින නිවෙස දෙස බැලූ ඕනෑම අයකුට පෙනෙන්නේ අෑත අතීතයේ ජීවත්වූ ජන කොට්ඨාසයකට සමානකම් කියන පවුලක් තාමත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටිනවාද යන ගැටලුවය.

මෙම නිවෙසේ පදිංචිව සිටින ගල්ලත් රාලලාගේ පොඩිමැණිකේ මහත්මිය (අවු. 83), ගල්ලත් රාලලාගේ පුංචිබණ්ඩා (අවු. 80), ගල්ලත් රාලලාගේ හීන් මැණිකේ (අවු. 65) සහෝදර සහෝදරියන්ය. ඔවුන්ගේ පියා කුඩා කල මිය ගොස් ඇති අතර මවද මීට වසර කිහිපයකට ඉහතදී අවුරුදු එකසිය ගණනක් ජීවත්වී මියගොස් ඇත.

පොඩිමැණිකේ පවුලේ දෙවැනියාය. ඇයට වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදර සහෝදරියන් පස්දෙනෙක් සමඟ පවුලේ 07 දෙනෙකි. ඇය සමඟ දැනට බාල තෙවැනි සහෝදරයා වන පුංචි බණ්ඩා හා පස්වැනි සහෝදරිය වන හීන්මැණිකේ සමඟ අඩක් නිම කරදී ඇති නිවෙසේ ඔවුන් අවිවාහකව ජීවත් වෙති. මෙම පවුලේ සෙසු හතර දෙනාගෙන් කිහිප දෙනකු මියගොසිනි.

නිවෙස ඇතුළතට දෙනෙත් යොමු කළ අප පොඩිමැණිකේගේ බාල සහෝදරයා හා සහෝදරිය දහවල් කෑම වේලට මිශ්‍ර වෑංජනයක් සාදා ගැනීම සඳහා සූදානම් කරන අයුරු පෙනිණි. තවදුරටත් දෙනෙත් යොමු කළ විට පෙනී ගියේ නිවෙසේ ඇඳක්, පුටුවක්. මේසයක්වත් නොමැති බවය. ගොම මැටි නොගෑ වැලි පොළොවේ සියලු කෑම බීම, ඇඳුම් පැලඳුම්, වළං මුට්ටි තබා ඇත.

ගල්ලත් රාලලාගේ පොඩිමැණිකේ මහත්මිය (අවු. 83) මෙසේ ප්‍රකාශ කළාය.

අපේ පවුලේ මාත් එක්ක හත්දෙනයි. මට වැඩිමල් අක්කා, ඊළඟට බාල සහෝදර සහෝදරියන් පස්දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් තෙවැනි මල්ලීත්, පස්වැනි නංගීත් මම බලාගෙන ජීවත් වෙනවා. අපි තුන්දෙනාම විවාහ වෙලා නෑ. අනෙක් සහෝදර සහෝදරියන් විවාහ වෙලා වෙන වෙනම පදිංචිව සිටිනවා. අම්මා අවුරුදු එකසිය ගාණක් ජීවත් වෙලා මීට වසර කිහිපයකට පෙර මැරුණා. තාත්තා අපි පුංචි කාලේ මැරිලා. අම්මා මට මැරෙන්න ඉස්සර වෙලා කිව්වා පොඩි මැණිකේ මේ මල්ලියි, නංගියි බලාගෙන උඹ මහගෙදර ජීවත් වෙන්න කියලා. ඉතින් අද අපි තුන්දෙනා වයසට ගියත් ජීවත් වෙන්නේ මේ ගෙදර. මට අසනීපයි. දැනට මහපල්ලේගම ග්‍රාමීය රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නවා.

මහත්තයෝ මට විතරක් මාසයකට රුපියල් 350ක මහජන ආධාරයක් ලැබෙනවා. අනෙක් දෙන්නට ලැබෙන්නේ නෑ. සමෘද්ධිය ලැබෙන්නෙත් නෑ. සමෘද්ධිය දෙන්නම් කියලා ළඟදී ලිව්වා. හැම දවසකම උදේ 9-10 වෙනකොට ජාති තුන හතර එකතු කරලා
එළවළුවක්, බතක් උයාගෙන අපි තුන්දෙනා කනවා. ඒ කාලා මම මහපල්ලේගම පැත්තේ ඇවිදින්න යනවා. ඉට පස්සේ ගමේ අය දෙන දේවල් අරගෙන ඇවිල්ලා මල්ලියි, නංගියි සමඟ කාලා කුප්පි ලාම්පු එළියෙන් රැය ගත කරනවා. අපට වතුර, ලයිට් ගෙන එන්න පාරක් නෑ. අපට ගෙදර කිසිම බඩු මුට්ටුවක් නෑ. ඇඳගන්න රෙදි දෙක තුනයි, උයා පිහා ගන්න මුට්ටි දෙක තුනකුයි තියෙනවා. ඉට වඩා අපේ ගෙදර මුකුත් නෑ. ගමේ තිලක් මහත්තයා ඇතුළු ගමේ දරුවෝ ටික එකතු වෙලා ගේ ඇතුළ සුද්ද කරලා කැඩිලා තිබුණු වහලය හදලා නොතෙමී ඉන්න සකස් කර දුන්නා.

මහපල්ලේගම පදිංචි එන්. තිලක් රත්නායක මහතා මෙසේ පැවැසීය.

ගමේ තරුණ අපි එකතු වෙලා අසරණ තුන්දෙනා වෙනුවෙන් මීට මාස 06කට පමණ ඉහතදී තෙමි තෙමී තිබුණ වහලය නැවත හදලා දුන්නා. ගේ ඇතුළේ තිබූ පස්ගොඩවල් අයින් කරලා සුද්ද කරලා දුන්නා. ඒ සුද්ද කරන අවස්ථාවේදී මේ තුන්දෙනා තැන තැන තියාල තිබුණු රුපියල් 24,000ක මුදලක් අපිට හම්බ වුණා. ඒ මුදල් මහපල්ලේගම සමුපකාර ග්‍රාමීය බැංකුවේ ගිණුමක් ඇරලා තැන්පත් කරලා දුන්නා. මේ තුන්දෙනාට ඒ සල්ලිවලින් කෑමක් බීමක්වත් ගෙනැල්ලා කාලා ජීවත් වෙන්න තේරුමක් නෑ.

දැන් අපේ ඊළඟ බලාපොරොත්තුව මේ නිවෙස කපරාදු කරලා බිමට සිමෙන්ති දාලා දෙන්නයි. ගමේ අය ශ්‍රම දායකත්වය මෙන්ම උදවු කරන්නත් පොරොන්දු වුණා. අපිට තව සිමෙන්ති කොට්ට 10කුයි, වැලි 1කුයි, ගල් 1කුයි පින් කැමැති කවුරු හරි ලබා දෙනවා නම් මේ අසරණ තිදෙනා වෙනුවෙන් කරන මහඟු උපකාරයක් යැයි තිලක් රත්නායක මහතා පැවැසීය.

ගල්ලත් රාලලාගේ පොඩිමැණිකේ මහත්මිය නමින් මහපල්ලේගම සමුපකාර ග්‍රාමීය බැංකුවේ අංක 8412 යටතේ ගිණුමක් ඇති අතර ඔබගේ ආධාර මුදල් එම ගිණුමට බැර කිරීමට හැකිය. වැඩි විස්තර සඳහා 0714762405 තිලක් රත්නායක මහතාගෙන් විමසා දැන ගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon