දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 59 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි පොදු ජන විප්ලවයට උරදුන් බණ්ඩාරනායක

  👤  2222 readers have read this article !
By mawbima 2018-09-26

ශ්‍රී ලංකාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවීමට දායක වූ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිමත්, එයට පුරෝගාමී වූයේ කෙබඳු පුද්ගලයෙක්ද, ඔහුගේ අරමුණු, අපේක්‍ෂා, ප්‍රතිපත්ති ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයට කෙබඳු බලපෑමක් ඇති කළේද යන්නත් විමසා බැලීම අතිශයින්ම වැදගත්ය. ශ්‍රී ල.නි.ප.ය රැකගත යුත්තේ ඇයිද ප්‍රශ්නයට පරිපූර්ණ හා නිරවුල් පිළිතුරක් ලබාගත හැක්කේද එමඟින්ම පමණි.

විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගැනීම වඩාත් වැදගත් වන්නේ වර්තමානයේ අපගේ මාතෘභූමිය මුහුණපා සිටින සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයේ අක්මුල් විහිදී ඇත්තේ ශ්‍රී ල.නි.ප.ය ඔස්සේම වීම නිසාවෙනි.
දහනව වැනි සියවසේ බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලන සමයේ ලාංකේය සමාජයේ ප්‍රථම පුරවැසියාව සිටි සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිවරයාට අයත්ව තිබූ කොළඹ මෝදර එළිහවුස් මන්දිරයේදී 1899 ජනවාරි 08 වැනිදා මෙලොව එළිය දුටු බණ්ඩාරනායක ළදරුවා පුරාණ දඹදිව විසූ සුද්ධෝදන රජතුමාගේ පුත් කුමරා මෙන් සියලු යස ඉසුරු උරුම කොටගෙනම මෙලොව එළිය ලැබූ අසිරිමත් දරුවෙකි.

ළමා වියේ වයස අවුරුදු නවය තෙක්ම සුදු ජාතික ගුරුවරුන් යටතේ හොරගොල්ල වලව්ව තුළදීම මූලික අධ්‍යාපනය ලබා, අනතුරුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබමින්, උසස් අධ්‍යාපනය උදෙසා එංගලන්තයේ ලොව සුපතළ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කෙරුණු මේ බණ්ඩාරනායක දරුවා 1925දී මෙරටට නැවතත් ළඟා වූයේ බි්‍රතාන්‍යයෙන් බැරිස්ටර් උපාධියද අත්කර ගනිමිනි.

කොළඹ වරායේ සිට හොරගොල්ල වලව්ව දක්වා සම්භාවනීය පෙරහරකින් කැඳවාගෙන එන මේ තරුණ බණ්ඩාරනායකයන් පිළිගැනීම උදෙසා කළගෙඩිහේන ප්‍රදේශයේ සියනෑ කෝරලයේ ජනයා පැවැත්වූ සුවිශේෂ ජන රැලිය අමතා මේ අසිරිමත් තරුණයා කියා සිටියේ 'යම්කිසි දෛවෝපගත සිද්ධියකින් මට ඔබ අතර වැදගත් තැනක් හිමිවන්නේ නම් ඒ ඔබේ ස්වාමියකු හැටියට නොව සේවකයකු හැටියට බව සිහි තබා ගනු මැනවි' යනුවෙනි. මහමුදලි බණ්ඩාරනායකයන්ගේ සිහිනය බොඳ වීම ඇරැඹෙනුයේද එතැන් සිටය.

සියරට පැමිණ නොබෝ දිනකින් ප්‍රසිද්ධ දේශනයක් සඳහා ඔහුට ආරාධනයක් ලැබිණි. ඒ කොළඹ තරුණ බෞද්ධ සමිතියෙනි. 'ශිෂ්ටාචාරයක් තෝරා ගැනීම' යන්න එම දේශනයේ මාතෘකාව වූයේය. ඒ වනවිටත් චතුර කථිකයකු ලෙස ප්‍රචලිතව සිටි මෙම තරුණයා ලංකාවේ වේදිකාවක පවත්වන මංගල කතාව ඇසීමට මහ සෙනඟක් පැමිණ සිටියහ. රැස්වීමේ මුලසුන දැරුවේ ශ්‍රී මත් බාරොන් ජයතිලක මැතිඳුන්ය.
බණ්ඩාරනායක තරුණයාගේ දේශනයෙන් පසුව මුලසුනේ කථාව කළ ජයතිලක මැතිඳුන් මෙසේද කීය. 'බණ්ඩාරනායක මහතා ජාති හිතෛෂීභාවය ගැන කතා කිරීම වාසනාවකි. බණ්ඩාරනායක මහතා තරුණයෙකි. එමෙන්ම සිහිමොළේ ඇති තරුණයෙකි. අප අද දවසේ ලබාගැනීමට උත්සාහ කරන වගකීම් සම්භාරය ඉසිලීමට සුදුසුකම් ඇති තරුණයකු ලෙස මම අද බණ්ඩාරනායක මහතා පිළිගනිමි. අනාගතයේදී ඔහු මෙම දිවයිනේ නියම ජනනායකයකු වනු ඇත.' බණ්ඩාරනායකයන් නියත විවරණය ලැබුවේ එලෙසිනි.

1926දීම ලංකා ජාතික සංගමයේ ලේකම් ධුරයට තේරී පත්වූ හෙතෙම ශ්‍රී ලංකාවට ස්වරාජ්‍යය දිනා ගැනීමේ අභිලාෂයෙන් පිහිටුවන ලද 'ජාති හිතෛෂී පක්‍ෂයේ' සභාපතිවරයා වූයේය. එම පක්‍ෂය කෙටි කලකට සීමා විණි.
මේ අතර කොළඹ නගර සභාවේ මරදාන කොට්ඨාසයේ නාගරික මන්ත්‍රිවරයා ඉල්ලා අස්වීම මත 1926 දෙසැම්බර් 14 වැනිදා පැවැති අතුරු මැතිවරණයේදී එවකට කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහයන් පරාජය කරමින් කොළඹ මහ නගර සභාවට තේරී පත්වෙමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට තරුණ බණ්ඩාරනායක සමත් විණි. සිය මහමුදලි පියාණන්ගේ සහාය වෙනුවට විරෝධය පළ කෙරෙද්දී එය නොතකමින් සිය විප්ලවීය දේශපාලන දිවිය ඇරැඹීමට කටයුතු කිරීම ඔහුගේ සුවිශේෂත්වයකි.

අනතුරුව ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වේයන්ගොඩ ආසනයේ මන්ත්‍රිවරයා ලෙසින් 1931 මැයි මස 04 වැනිදා බණ්ඩාරනායක තරුණයා තේරී පත්වූයේ නිතරගයෙනි.

මේ අතර සිය විදෙස් අධ්‍යාපනය නිමා කර මෙරටට පමිණ සිටි ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්.ඒ. වික්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කෙනමන් වැනි තරුණ සමාජවාදීන් එක්ව 1935 වසරේදී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්‍ෂය වශයෙන් 'ලංකා සමසමාජ පක්‍ෂය' ලියාපදිංචි කළහ. 1936දී 'සිංහල මහ සභාව' නමින් දෙවැනි දේශපාලන පක්‍ෂය ලියාපදිංචි කිරීමට තරුණ බණ්ඩාරනායකයන්ද කටයුතු කළේය.

ඒ අනුව ලංකාවටද ඩොමීනියන් තත්ත්වය හෝ ලැබේය යන විශ්වාසය මත ඩී.එස්. සේනානායකයන්ගේ ජාතික සංගමයත්, බණ්ඩාරනායකයන්ගේ සිංහල මහ සභාවත්, ටී.බී. ජයාගේ මුස්ලිම් ලීගයත් එක්ව 1946 සැප්තැම්බර් 06 වැනිදා 'එක්සත් ජාතික පක්‍ෂය' පිහිටුවා ගත්තේය. ඒ වන විට පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රින් බහුතරය වූයේ සිංහල මහ සභා සාමාජිකයන්ය. මේ අතර 1945දී 'නිදහස් ලංකා පනත' රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් සම්මත කර ගැනීමට බණ්ඩාරනායකයන් පුරෝගාමී වුවද බි්‍රතාන්‍ය මහ රජුගේ අනුමැතිය එයට ලබාගැනීමට ඉදිරිපත් කිරීමෙන් වැළකීමට යටත්විජිත භාර ලේකම් කටයුතු කිරීම බණ්ඩාරනායකයන්ගේ බලවත් විරෝධයට හේතු විණි. ඒ වාගේම ධවල පත්‍රිකාවක් ලෙසින් ඉදිරිපත් කෙරුණු සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශයන්ද බණ්ඩාරනායකයන් අනුමත නොකළ අතර ඩී.එස්. සේනානායකයන්ගේ බලකිරීම මත එයට එකඟ වූ අයුරු අපේ දේශපාලන ඉතිහාසයේ දැක්වේ. සෝල්බරි සාමිගේ නිර්දේශය වූයේ අර්ධ නිදහස හෙවත් ඩොමීනියන් තත්ත්වය ය.

නිදහසට පෙර 1947දී පැවැති ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සුළුතර සභාග රජයක් ගොඩනඟා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සමත් වනුයේ මෙම පසුබිම තුළය.
1956 ජනතා ජයග්‍රහණය අත්කර ගැනීමෙන් අනතුරුව එතුමා පැවැත්වූ දේශනයක මෙසේද දැක්වේ.

"මා හිතනවා කුමක් වුවත්, දැන් පටන් ගැන්මක් ඇති කරලා තිබෙන බව. නැව යාත්‍රා කරන්න පටන් ගෙන ඉවරයි. සමහර විට මගේ මිත්‍රයන් බලාපොරොත්තු වන තරමට වේගයෙන් නොවෙන්න පුළුවන්. නමුත් ඒක යාත්‍රා කරනවා. අපේ මිත්‍රයන්ගේ ආධාරය ඇතිව. අපි එය සාමයේත්, සෞභාග්‍යයේත් ක්‍ෂේම භූමියකට පදවමු. කාටත් පුළුවන් තරමින්, කාගේත් ආධාර උපකාර ඇතිව, එම නව යුගයේ පටන් ගැන්මවත් සහතික කරන්නට අපට පුළුවන් වේවිය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපට පමණක් නොවෙයි, ඒ නව යුගය, මේ රට තමන්ගේ ගෙදර, තමන්ගේ මාතෘ භූමිය ලෙස සලකන කාටත් ඒක සාධාරණයි."

මේ අයුරින් ශ්‍රී ල.නි.ප.යේ නිර්මාතෘවරයා වශයෙන් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිඳුන් සිය පක්‍ෂයට, රටට නායකත්වය ලබාදීමේ අභියෝගය ජය ගැනීම උදෙසා දර්ශනයක්, ප්‍රතිපත්ති, අරමුණු උපාය මාර්ග පාදක කරගෙන ඇත්තේ සමස්ත ජාතියටත්, දේශපාලන ප්‍රජාවටත් කදිම ආදර්ශයක් සපයමිනි.
මගේ පිළිවෙත
ඒබ්‍රහම් ලින්කන් කිව්වා වගේ, මා යන්නේ කිසිම කෙනකු සමඟ කේ‍රා්ධයෙන් නෙවෙයි. කවුරු කෙරෙහිත් මෛත්‍රි කරුණාවෙනුයි. මෙය මිත්‍රකමින් මට ගෞරව කළ අය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, සතුරුකමින් මට ගෞරව කළ අය සම්බන්ධයෙනුත් එසේමයි.

මට විරුද්ධව පෝලිම් ගැහෙන බලවේග ගැන මම හොඳටම දන්නවා. ආඩම්බරකම සහ ශක්තිය, බලපෑම්, මුදල් සහ කාරණා නොපිට පෙරළීම සහ විකෘති කිරීම පවා මට විරුද්ධව පාවිච්චි කරන ආයුධ වෙනවා. මේවාට විරුද්ධව සටන් කිරීමට මටත් ආයුධ තිබෙනවා.

යුගයකින් යුගයකට
ඇත්ත වශයෙන්ම, අපි අද ජීවත්වන්නේ, ශිෂ්ටාචාරයකින් තවත් ශිෂ්ටාචාරයකට මාරුවීමේදී හමුවන කාලසීමාවේය. මෙබඳු කාලවල නොයෙක් අන්දමේ දාර්ශනික, ජාතික, ආර්ථික, දේශපාලනික ගැටුම් ඇතිවීම් ස්වභාවයක්. එය අතීතයේදී සිදුවෙලා තිබෙනවා.

පොදුජන නිදහස
හෙන්රි වොල්ස් මහත්මයා, වරක් අපට බොහෝම පුරුදු වාක්‍ය අංශයකින් කිව්වා. මේ යුගය 'පොදු මිනිසාගේ යුගය'යි කියලා. පොදු ජනයා සම්බන්ධව වැඩියෙන් අවධානයක් මේ කාලයේ දක්වනවා. පොදු ජනයාගේ ඕනෑ එපාකම් ගැන සොයා බලනවා. ඒ වගේම පොදු මිනිසා ඔහුගේ සගයන්ගෙන් වෙන්කරලා තබන කෘත්‍රිම වැටකඩුලු නැතිව ඔහුට මනුෂ්‍යයෙක් ලෙස ජීවත්වීමට අවස්ථාවක් සපයාදීමේ අවශ්‍යකම ගැන අවධානය යොමු වෙනවා.

මනුෂ්‍ය සහෝදරත්වය
අප කාගේත් ශරීරවලට අමුතු පණක් දී උදේ‍යාගිමත් කිරීමට සමත් ප්‍රබෝධකයක් අද තිබෙනවා. ඒ කුමක්ද? අපේ ඉතිහාසයේ මීට කලින් කවදාවත් නොතිබුණු අන්දමින්, මිනිසාගේ ගෞරවයත්, සහෝදරත්වයත්, අපේ ආගම, වර්ගය, ජාතිය හෝ දර්ශනය කුමක් වුවත් අපි කවුරුත් එක හා සමාන බව හඳුනා ගැනීමට, පිළිගැනීමට අපට සිදුවී තිබෙනවා. අද අපි කවුරුත් එකයි.

දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිය
අපේ පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිපත්තිය නැවත මතක් කර දෙන්න මම කැමැතියි. දේශපාලන වශයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදීයි. මනුෂ්‍යයන්ගේ ප්‍රගතියට හුඟක්ම සුදුසු ජීවන මාර්ගය ලෙස අපි විශ්වාස කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයයි. ආර්ථික වශයෙන් අපි විශ්වාස කරන්නෙ සමාජවාදී පිළිවෙතයි. අපේ අදහසේ හැටියට මහජනතාවට යුක්තිය ඉෂ්ට කරන්ට පුළුවන් මේ ක්‍රමයෙන් පමණයි. අපේ ප්‍රතිපත්තිවල තුන්වැනි ලක්‍ෂණය තමයි ආගමික හා සංස්කෘතික වටිනාකම් ආරක්‍ෂා කළ යුතුයි. පෝෂ්‍ය කළ යුතුයි යන අපේ විශ්වාසය.

එම නිසා මේ කාරණාවලින් පෙන්වා ඇති, අපි කොමියුනිස්ට්වාදයටත්, ෆැසිස්ට්වාදයටත්, ධනපතිවාදයටත් මෙන්ම භෞතික වාදයටත් විරුද්ධ බව.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
මම අපේ අලුත් පක්‍ෂය ගැන වචනයක් කියන්න ඕනෑ. පළමුවෙන්ම මම අවධාරණයෙන් කියා සිටින්න ඕනෑ, මෙන්න මේ කාරණය. අපේ පක්‍ෂය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක්. ඒක සමාජවාදීය කියලා කියන්නේ, කාටත් අපි සාධාරණ වන අතරම මේ රටේ දුගී දුප්පත්කමින් සිටින මහ ජනතාවට, අපේ රටට ඔරොත්තු දෙන තරමින්, ඉහළම ජීවන තත්ත්වයක් ලබාදීමටයි. අපි අදහස් කරන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදීය කියලා කියන්නේ අපේ පක්‍ෂය එක පුද්ගලයකුගේ නැතිනම් කණ්ඩායමක ඒකාධිපතිකම කවරදාවත් නුරුස්සන, ඇත්ත වශයෙන්ම මහජන පක්‍ෂයක් නිසායි.

ශ්‍රී ල.නි.ප.යේ නිර්මාතෘවරයාණන්ගේ ඉහත කී අරමුණු, පරමාර්ථ, ප්‍රතිපත්ති, දැක්ම, ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟීමට එතුමාගේ හදිසි වියෝවෙන් පසුවත්, දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දශක තුනකට අධික කාලයක් කැපවීමෙන් කටයුතු කළ අයුරු මේ රටේ වැඩිහිටි ජනයාට මතක ඇතිවාට නිසැකය.

1960 ජූලි මාසයේදී ශ්‍රී ල.නි.ප.යේ නායිකාව වශයෙන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වූ එතුමියට එරෙහිවත් පක්‍ෂයේම දක්‍ෂිණාංශික බලවේග හා බාහිර දක්‍ෂිණාංශික බලවේග එක්ව සිදුකළ කුමන්ත්‍රණ ගණනාවකි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයාණන් එම පක්‍ෂය අරඹා ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී එවක ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකම පරාජය කරමින් 56 සමාජ විප්ලවය ඇරැඹීම උදෙසා ජනතා ජයග්‍රහණය අත්කර ගත්තේ ඉහත කී ගුණාංග මත පිහිටා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහ බලවේගය බලමුළු ගන්වා මැද මාවතේ මහා බලවේගයක් ගොඩනැංවීමට සමත් වීම නිසාය යන්න තර්කානුකූල සත්‍යයයි.

වර්තමානයේ පක්‍ෂය මුහුණ පා සිටින ප්‍රධානම අභියෝගය පක්‍ෂයේ නිර්මාතෘවරයා හඳුන්වාදුන් දැක්ම, අරමුණු, පරමාර්ථ, පිළිවෙත්වලින් බැහැර වී, පක්‍ෂය, දැක්මකින්, ප්‍රතිපත්තියකින්, අරමුණකින්, තොර වූත්, පක්‍ෂයට පමණක් නොව රටටත්, ජන සමාජයටත් හානිකර වූ මඟකට අවතීර්ණ වී තිබීම බවක් පොදුවේ දැකගත හැකිය. එය වඩාත් කැපී පෙනෙන්නේ බණ්ඩාරනායක ශ්‍රී මතාණන් කළ කී දෑ අධ්‍යයනය කිරීමේදීය. ඒ වාගේම එතුමාගේ දැක්ම - දේශපාලනික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා ආර්ථික වශයෙන් සමාජවාදී යන්න නූතන ලෝකයටත් කදිමට ගැළපෙන අයුරු ආර්ථික අර්බුදවලට ගොදුරු නොවූ උතුරු හා මධ්‍යම යුරෝපීය රටවල් පවා කදිමට ඔප්පු කරයි.

කොහොම නමුත් බණ්ඩාරනායක ආණ්ඩුව තුළින් හා බැහැරින් වර්ධනය වූ ඝාතන කුමන්ත්‍රණය 1959 සැප්. 26 වැනිදා කූටප්‍රාප්තියට පත්වූයේ එතුමන්ගේ ඝාතනය සිදුකිරීමෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon