ආර්ථික අර්බුදයට මුහුණදීමට ආණ්ඩුව සූදානම්

  👤  2373 readers have read this article !
By mawbima 2018-09-26

 

ණය පාලනය කිරීමටත්, සංචිත දියුණු කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවත්, මෙරට ආර්ථිකය සකස් කරගත යුතු බැවින් සමහර ආනයන අංශවල තීරුබදු ඉහළ දමා සීමා කිරීමට බලාපොරොත්තු වන බවත්, ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් බවත්, ගම්පෙරළිය, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සඳහා වෙන් කරන මුදල් කිසිසේත් අඩු නොකරන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ඉදිකරන ලද 'මාහාමාන්‍ය ඩී.එස්. සේනානායකගම' පසුගියදා (24දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනතා අයිතියට පත්කරමින් මේ බව ප්‍රකාශ කෙළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

ජනාධිපතිවරයා ග්‍රාම ශක්ති වැඩසටහන ගෙනයනවා. ඒ විතරක් නෙවෙයි තව බොහෝ කටයුතු ජනතාව වෙනුවෙන් සිදුවෙනවා. මේ සියලු දේ ආරම්භ කළේ ඉතාම අමාරු කාලයකයි. අපිට විශාල ණය බරක් තිබුණා.

අපි අමාරුවෙන් ඒ ණය ගෙවන ගමන් තමයි මේ වැඩසටහන් සියල්ලම ක්‍රියාත්මක කළේ. නියඟයක් ආවා. ඒකත් එක්ක ඉදිරියට යමින් අප්‍රේල් මාසය වන විට බඩු මිල යම් මට්ටමකට ගෙනාවා. දැන් ආපසු අපි අලුත් අර්බුදයකට මුහුණ දෙනවා. එය අප ඇති කරගත් එකක් නොවේ. ඒක ගෝලීය ආර්ථික අර්බුදයක්. ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩි වෙලා. එය අපේ රටේ රුපියලට පමණක් නෙවෙයි. සෑම රටකටම බලපානවා.

එංගලන්තයේ පවුමටත් එය බලපානවා. යුරෝපා සංගමයේ යුරෝ එකටත් ඕස්ට්‍රේලියාවේ ඩොලරයටත්, ඉන්දියාවේ රුපියලටත්, සිංගප්පූරුවේ ඩොලරයටත්, චීනයේ යුවාන් එකටත් එය බලපානවා. 2008දී ඇමෙරිකානු ආර්ථිකය කඩා වැටුණු වෙලාවේදී ඩොලරය බාල්දු වුණා. ඇමෙරිකාවේ ආර්ථිකය හොඳ වූ හැටිය යළි ඇමෙරිකාවට යනවා කියලා එදා අපි කිව්වා. 2018දී ට්‍රම්ප් ජනාධිපතිවරයා ජනතාවට බදු සහන දුන්නා. නිෂ්පාදන කර්මාන්තය දියුණු වුණා. ඇමෙරිකාවේ කර්මාන්ත ඉදිරියට ගියා. ආර්ථික වේගය වැඩි වුණා. එරට මහ බැංකුව දෙවරක් ඩොලර් එකේ පොලිය වැඩි කළා.

හැමෝම ඩොලරය පිටුපස ගියා. මෙහාට මුදල් ගෙනාව අය ආපසු මුදල් ගෙනයනවා. අපේ මුදල්වල වටිනාකම අඩු වෙනවා. අනෙක් අතට ලෝක තෙල් මිල වැඩි වෙනවා. අද තෙල් මිල ඩොලර් 80කට ගිහින් තිබෙනවා. මේ හැම එකක්ම අපට බලපානවා. අපේ සමහර භාණ්ඩවල මිල වැඩි වෙලා නෑ. අනෙක් භාණ්ඩවල මිල වැඩි වෙලා. එහෙම තත්ත්වයක් තිබෙන්නේ. ඇමෙරිකාව, රුසියාව එක්ක වෙළෙ¼දාම් කරන එකට තහනමක් දාලා.

අපේ තේ යවන්න බෑ. අද එතැනට මුහුණ දෙන්න බලන්නේ. ඩොලර් මිලියන 400ක් පිට වී තිබෙනවා ලංකාවේ කොටස් වෙළෙඳපොළෙන්. ආර්ජන්ටිනාව වැනි රටවල් කඩා වැටෙන්න ගිහින්. ඒ රටේ මහ බැංකුව පොලී වැඩි කර තිබෙනවා. ඉන්දියාව මහ බැංකුවේ පොලිය වැඩි කර තිබෙනවා. අපි පොලිය වැඩි කළොත් ලාංකික ව්‍යාපාරිකයන්ට වැඩි පොලියක් ගෙවන්න සිදු වෙනවා. අපේ අපනයනකරුවන් එක සැරේම පිටරට ඩොලර් ලංකාවට ගෙන්නේ නෑ.
තාම ගෙනයන්නේ තේ, සංචාරක ව්‍යාපාරය සහ ඇඟලුම් විතරයි. අප ක්‍රමානුකූලව මේ ගැන සාකච්ඡා කරනවා ණය පාලනය කරන්න. සංචිතය දියුණු කරන්න. සමහර අංශවල ආනයනය කිරීමට වැඩිපුර තීරු බදු දාලා අපේ ඩොලරය ඩොලර් මිලියන 500කින් මිලියන 1,000කින් සීමා කිරීම කරගන්න බලාපොරොත්තු වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon